දළදා දැක්මට පැමිණ පෝලිම්වල සිටින ජනතාව ආවරණය වන පරිදි පැය 24 පුරා සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා කියයි.
ඒ අනුව අධික අව් රශ්මිය පවතින කාල වකවානුව හේතුවෙන් දිවා රැයේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් දිගු කාල වේලාවක් ගත කරන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීම සඳහා ඔවුන් ඉල්ලා සිටින අවස්ථාවන්වල හෝ එසේ නොමැතිව පවා ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ඔවුන් සිටින ස්ථානයටම කඩිනමින් ලබා දීම මෙම නව වැඩපිළිවෙළේ අරමුණ වේ.
මෙහිදී මෙම සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් අදාළ කලාපවල පිහිටුවා ඇති විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණය කෙරෙන අතර අවශ්‍ය අවස්ථාවල අදාළ පුද්ගලයන් සිටින ස්ථානය වෙත වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම ගෙන්වා ගැනීමත් අත්‍යවශ්‍ය විටක ගිලන් රථ වහාම කැඳවීමත් සිදුවේ.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ප්‍රදේශයේ ස්වෙච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් එක් කර මෙම සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් සකස් කර ඇත.මීට අමතරව ජනතාව එක්ව සිටින සියලු පෝලිම් ආවරණය වන පරිදි වරින් වර එම ස්ථානය පසු කරමින් සෞඛ්‍ය පණිවුඩ හා සෞඛ්‍ය ආරක්ෂාව පිණිස අවශ්‍ය කරුණු නිවේදනය කරමින් ප්‍රදේශය පුරා ජංගම සෞඛ්‍ය අධ්‍යාපන කණ්ඩායම් සැරිසරයි.
ඒවායේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් සේවය කරන අතර වන්දනා කිරීමට යොමු කරන අවධානය සේම සිය සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගැනීමටත් යොමු කළ යුතු බව අවධාරණය කෙරේ.
විශේෂයෙන් දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගත යුතු රෝගවලින් පෙළෙන පුද්ගලයන් හා වැඩිහිටියන්,ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීමට පවුලේ අනෙක් සාමාජිකයන්ගේත් පෝලිම්වල රැඳී ඔවුන් අවට සිටින අනෙක් පුද්ගලයන්ගේත් අවධානය යොමු කිරීමද වැදගත් වේ.
මේ අතර මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ මහතා කීවේය.දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ සැදැහැවතුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (20දා) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.
ඒ අනුව නගරයට පැමිණෙන සියලු සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඔහු කීවේය. සහල්, පොල් ඇතුළුව ලබා ගන්නා වියළි සලාක ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සකස් කොට දන්සැල් ලබා දෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.
මේ වන විට විශාල ජනකායක් දළදා වන්දනාව සඳහා මහනුවරට ඇදී එමින් පවතින බව කී දිස්ත්‍රික් ලේකම්වරයා, ඔවුන්ට පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් කුසගින්නේ නොතැබීම තමන් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතු වගකීමක් වන බව ද සඳහන් කළේය.
එසේම ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අමතර පහසුකම් හිමිවන බවත් දානපතියන් ඇතුළු විවිධ පාර්ශ්ව උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් ස්ථාපිත කරන බව ද ඔහු කීවේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ලලිත් ඇටම්පාවල සහ නිලූකා බුලත්ගේ, මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ, මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ඇතලුව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
එසේම සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙළඳපොළේදී අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
විශේෂ වැඩපිළිවෙළට අනුව වැටලීම් ,විමර්ශන සහ දැනුවත් කිරීම් සිදුකරනු ලබන අතර පාරිභෝගිකයන් අපහසුතාවට පත් වන අයුරින් කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.
ප්‍රදේශයේ වෙළෙඳුන් දැනුවත් කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය සතියේ සිදු කර තිබේ.මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට අනුයුක්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් දිනපතා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි.
මේ අතර දළදා වන්දනාව සඳහා දිවයිනේ සැම ප්රදේශයකින්ම අනපේක්ෂිත ලෙස පැමිණෙන බැතිමතුන් විශාල පිරිස වෙනුවෙන් මහනුවර නගරය පුරා සුදානම් කර තිබු ජංගම වැසිකිළි ප්‍රමාණවත් නොවූ හෙයින් තවත් ජංගම වැසිකිළි 30 ට අධික ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.
දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණෙන බැවින් මුලින් සැලසුම් කර තිබූ පරිදි මහනුවර නගරය ආසන්නයේ බැතිමතුන්ගේ පහසුව පිණිස ජංගම වැසිකිළි ස්ථාපිත කර තිබුණත් බැතිමතුන් විශාල ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් නගරයෙන් පිටත ද පෝලිම් ඇදීයාම නිසාඑම ජනතාව වෙනුවෙන් ජනපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් තවත් අලුතින් ජංගම වැසිකිළි හා ජනතාව වැඩි වශයෙන් එක්රැස්ව සිටින ස්ථානවල ජංගම වැසිකිළි ස්ථාපිත කිරීමට පියවර ගත් බවද කොමසාරිස් වරිය පැවසුවාය.
ඇසළ පෙරහර මංගල්‍යය අවසානයේ සිදු කරන්නාක් මෙන් දළදා වන්දනාවෙන් අනතුරුව නගර සභාවේ කාර්ය මණ්ඩලය එක්ව නගරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන නිසා නගරය ඉතා හොඳ පිරිසිදු තත්ත්වයකින් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බවද කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී දළදා මාලිගාව මගින් බැතිමතුන් වෙනුවෙන් පවත්වන දන්සල හැරුණු විට දිවා හා රාත්‍රි ආහාර ලෙස බත් ලබාදෙන දන්සැල් ක්‍රියාත්මක නොවන බැවින් වෙළෙඳ සංගමය හා සාකච්ඡා කර බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන බව ද කොමසාරිස්වරිය ප්‍රකාශ කළ අතර තමන් රැගෙන එන ඉටිරෙදි ඇතුළු ඉවත දැමිය හැකි දේ නගරයේ නොදමා යළි රැගෙන යන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද නගරය පිරිසිදු කිරීමේ නිරත කණ්ඩායම්වලට එය පහසුවක් වනු ඇති බවද මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.

නිදර්ශනි වික්‍රමසිංහ/ එච්. අයි. තුෂාර/මහනුවර මොහොමඩ් ආසික්/ෂේන් සෙනෙවිරත්න/දුම්බර – ආර්.එම්. ප්‍රදීප්/ චමිල් රූපසිංහ