දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන තම දරුවාට තමන්ගේ වකුගඩුවක් ගලවා බද්ධ කිරීම සඳහා සියලු කටයුතු සූදානම්ව තිබියදී ඔවුන්ගේ ආර්ථිකයට හා ප්‍රතිකාර සදහා මාස තුනක කාලයක් ජීවත්වීමට කාගේ හෝ පිහිටක් ලබා දෙන ලෙස දෙදරු පියෙකු සමාජයෙන් අයද සිටින සංවේදී පුවතක් දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයෙන් අපට වාර්තා විය.
ආර් . එම්. සෙනරත් බණ්ඩාර නම් වූ මෙම හතළිස් හත් හැවිරිදි දෙදරු පියාණන් සඳහන් කළේ චලිඳු රුවන් බණ්ඩාර නැමැති විසිතුන් හැවරීදී තම දරුවා වසර ගණනාවක සිට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. දරුවා වයස අවුරුදු විසිතුනක් වුවද වයස අවුරුදු දහයක පමණ පෙනුමක් ඇති දරුවෙකු බවද ඔහු පෙන්වා දුන්නේය.
තම ආදරණීය බිරිඳ ආර්. එම් .නිලූකා දමයන්ති වයස අවුරුදු හතළිස් තුනකි. ඇය දඹුල්ල නගරයේ පෞද්ගලික වෙළඳ සැලක වෙළඳසේවිකාවක් ලෙස සේවය කරන බවත් තමන්ට ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලියන දියණියක්ද සිටින බව ඔහු කියයි.
රුවන් බණ්ඩාර නමැති තම දරුවා ජීවත් කරවීම සඳහා වසර ගණනාවක සිට මුළු සේසතම වියදම් කරමින් අවසානයේදී වකුගඩුවක් බද්ධ කරන යෝජනාවට පැමිණ ඇතැයි ඔහු කියයි .තවත් දින කිහිපයකින් තම පුතාව ජීවත් කරවීම සඳහා තමන්ගේ සිරුරේ ඇති වකුගඩුව ලබාදීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි හෙතෙම පැවසීය.
වකුගඩුව බද්ධ කිරීමෙන් අනතුරුව මාස තුනක පමණ කාලයක් තමන්ට සහ දරුවාට පොළොන්නරුව රෝහල ආශ්‍රිතව නිවසක් කුලියට ගෙන ජීවත්වීමට සිදුවන බවත් ඉන් පසුව මාස කිහිපයක් යනතුරු නිවසට පැමිණ දරුවා වෙනම කාමරයක තබා ආරක්ෂා කිරීමට සිදුවන බවත් ඔහු කියයි. බරපතලම ප්රශ්නය බවට පත්ව ඇත්තේ එම මාස කීපය තුළ තම පවුලේ ජීවන තත්ත්වය පහත වැටී දරුවාට මාස තුනක කාලයක් ගෙයක් කුලියට අරගෙන ජීවත්වීම ආහාර පාන සහ ඖෂධ සොයාගැනීමට නොහැකි වීම බව දැඩි සිත් වේදනාවෙන් යුතුව පැවසීය.
මෙම තරුණයාගේ මව ආර් .එම් . නිලුකා දමයන්ති මහත්මිය හැඬූ කඳුළින් මුළු මහත් සමාජයෙන් ඉල්ලා සිටියේ වසර ගණනාවක් තිස්සේ මුළු සේසතම වියදම් කරමින් තම දරුවාගේ ජීවිතය ආරක්ෂා කරමින් අවසන් මොහොත වන විට මිල මුදල් අහිමිවීම නිසා ජීවිතය අහිමිවේදැයි දැඩි බියක් පවතින බවය. කෙසේ වෙතත් තම දරුවාද ජීවිතය අතහැර දැමීමට තරම් මානසිකව වැටී ඇතැයි ඇය සඳහන් කළාය.
කාගේ හෝ සහයෝගයක් ලබා දෙන ලෙස ඇයද සමාජයෙන් ඉල්ලා සිටියාය. බරපතළ වකුගඩු රෝගයට ගොදුරුව සිටින චලිඳු රුවන් බණ්ඩාර තරුණයා සඳහන් කළේ කෙසේ හෝ තමන්ට පියාගේ වකුගඩුවක් බද්ධකොට සුවපත් වී තම මව සහ පියා රැක ගැනීම සඳහා සමාජයේ සහයෝගය ලබා දෙන ලෙසය
ඔවුන්ගේ ලිපිනය ආර් .එම් . නිලුකාදමයන්ති නොමර 140, රත්මල්කටුව. ඉනාමලුව. දඹුල්ල. දුරකතන අංකය 0785258443 ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ එම මවගේ නමින් ඇති ගිණුම් අංකය 91274215

