දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදුකෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ක්රමාණුකූලව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් ලිපි ප්රදානය සිදු කරනු ලැබීය.
දන්ත වෛද්‍ය ක්ෂේත්රයට එක් වූ නව ක්‍රමවේදයක් ලෙස දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට මෙහිදී විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ සේවය කර පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව උදා වන අතර, දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ අධ්‍යාපනය පුළුල් කිරිම, අධ්‍යාපනය ඉහළට නැංවීම සහ සායනික ධාරිතාවය ඉහළ නැන්වීමේ අරමුණින් මෙම සීමාවාසික පුහුණුව ලබාදෙනු ලැබේ.
උත්සව සභාව අමතින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැන්වීම සඳහා වන සෑම ක්ෂේත්රයක්ම විද්‍යාත්මකව සහ සැලසුම් සහගතව මෙහෙයවීමට මේ වනවිට නව සැලසුම් සකස් කර ඇති බවයි.
2019 වසරේ සිට දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව ඇතුළත් තිබෙන බවත්, සීමාවාසික පුහුණුව අවසන් කර සිටින දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට කඩිනමින් පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමේ ප්‍රධාන පරමාර්ථය සහ ඉළක්කය විශ්ව සෞඛ්‍ය අගයන්ගේ දැනට අත්පත් කරගෙන තිබෙන ස්ථානය තවත් ඉහළට ඔසවා තැබීම බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා වසර 70 ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව විවිධ සෞඛ්‍ය දර්ශක වල දක්ෂතා පෙන්නුම් කර තිබුණ ද දැනට පවතින ලෝක නිර්ණායකයන් අනුව විශ්ව සෞඛ්‍ය ආවරණයේ දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මෙන්ම මුඛ සෞඛ්‍ය සේවාව පවතින තත්ත්වය පිළිබඳව නැවැත සළකා බැලිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
ඉදිරියේ දී එම සේවාවන් ජනතාවට වඩාත් සමීප කරලීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සමස්ත සෞඛ්‍ය සේවාව මෙහෙයවනු ලබන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉහත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යකරන ආයතන, අංශ, වැඩසටහන්, ව්‍යාපෘති ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ දැනටමත් ක්‍රියාත්මක වන බවත්, ඊට භාණ්ඩාගාර අරමුදල් මෙන්ම ප්‍රදානයන් ද සහන ණය ව්‍යාපෘති ද ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ලදි. ලෝකයේ රටවල් සමඟ ඒකඟාවයන්ට පැමිණෙමින්, ගිවිසුම්ගත වෙමින් සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය වැඩිදුර පුහුණුව ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත්, මෙම සියලු කරුණු වලින් බලාපොරොත්තු වන ප්‍රධානම ඉලක්කය ලෙස මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත වැඩිදියුණු කිරීම සිදු කිරීම බව ද අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය සේවාවට ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සේවාවන් සඳහා වෙන් කරන මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදෙන බවත්, කිසියම් රෝහලක ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් පවතිනවා නම් එලෙස පවතින්නේ මුදල් හිඟතාවයක් නිසා නොව අදාළ ක්රියාවළීන් හි පවතින යම් යම් දෝෂයන් නිසා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
