මෙම වර්ෂයේ (2025) මාර්තු මාසයේ දී මෙරට තේ නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2024) මාර්තු මාසයට සාපේක්ෂව තේ කිලෝග්රෑම් මිලියන 24.4 දක්වා සියයට 24.8කින් වැඩි වී ඇති බැව් ශ්රී ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2024 වර්ෂයේ මාර්තු මාසයේ දී මෙරට තේ නිෂ්පාදනය තේ කිලෝග්රෑම් මිලියන19.6කි.තේ වගාවට හිතකර යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්තු මාසයේ දී තේ නිෂ්පාදනය වැඩිවී ඇති බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම 2024 වර්ෂය පුරාම අඛණ්ඩව පහත වැටී ඇති මෙරට පොල් නිෂ්පාදනය 2025 වර්ෂයේ මාර්තු මාසයේ දී වසරේ පෙර මාසවලට සාපේක්ෂව යථා තත්ත්වයකට පත්වීමේ සලකුණු පෙන්නුම් කරමින් පවතින බවද මහබැංකු වාර්තාව මගින් පෙන්වා දී ඇත.
කෙසේ වුවද 2024 වර්ෂයේ මාර්තු මාසයේ දී මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 282.4ක් පැවති අතර 2025 මාර්තු මාසයේ දී පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 217.1 දක්වා සියයට 23.1කින් පහත වැටි තිබුණි.
රබර් නිෂ්පාදනය ද මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී රබර් කිලෝග්රෑම් මිලියන 4.1 දක්වා සියයට 36.8කින් පහත වැටී ඇත. 2024 වර්ෂයේ මාර්තු මාසයේ මෙරට රබර් නිෂ්පාදනය රබර් කිලෝග්රෑම් මිලියන 6.5කි.
චන්දන සමරවික්රම