ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් අද (1දා) සවස යක්කල නගරයේදී පැවැත්විණි.
මීට ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල " ජනතාවට ජීවත්වීමට ඉඩ දෙනු " , " ඉන්ධන මත පනවා ඇති බදු අඩුකර ජනතාවට සහන ලබා දෙනු ", " ජනතාව කබලෙන් ලිපට " වැනි වැකි සදහන්ව තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
මෙම අවස්ථාවට සහභාගි වී සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මේ රට හදන්න වැඩකරන විරුවෙක් ජනතාව පසුගිය මැතිවරණයේදී බලයට ගෙන ආව. නමුත් අද වන විට රටම ඇනහිටින තත්ත්වයකට පත්ව තිබෙනවා. රට පුරාම ඉන්ධන හිගයක් පවතිනවා. තෙල් ටික නෑ. ගෑස් නෑ. රෑට ලයිට් නෑ. ඒ විතරක් නෙවෙයි, දෛනිකව සොයා ගන්න ආදායමෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.
අද වනවිට ආණ්ඩුව පෙන්නුම් කරල තිබෙනව, තමන් අසමත් ආණ්ඩුවක් බව. මේ වනවිට ජනතාවට ඔප්පු කරල තිබෙනව, ගෙවනු අවුරුදු හැත්තෑ හතර තුල රට පාලනය කළ පාලකයින් විසින් අසමත් රටක් නිර්මාණය කරල තිබෙනව බවට. අද වන විට මේ රටේ ජනතාව කබලෙනුත් ලිපට වැටිල , මේ වනවිට ඒ ලිපේ දැවෙමින් සිටින තත්ත්වයකට පත්ව සිටිනව. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි පාරට බැහැල කියන්නෙ, දැන් ඇති ඉවසුවා ඇති ජනතාවට අපි ආරාධනය කරනව , එමු පාරට මේ අසමත් පාලකයින් රැල ගෙදර යවමු. අපි සූදානම් ඒ සදහා නායකත්වය ලබා දෙන්න. ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජනබල වේගයත් සූදානම් මේ අසමත් පාලකයො ගෙදර යවල යහපත් පාලනයක් ගොඩනැගීමට. අපි මේ සදහා රටපුරාම ජනතාව පෙළ ගස්වමින් සිටිනවා යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට චන්ද්‍රමාලි පෙරේරා, ධම්මිකා සෝමරත්න, ලක්ෂ්මන් යන ගම්පහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
ගම්පහ - තිලකරත්න දිසානායක සහ වාරණ - ආනන්ද ජයකොඩි
