තෙත වී කිලෝවට රු. 100ක් දෙන්න
වර්තමානයේ ගොවීන් මුහුණ දී ඇති තෙත වී අලෙවි කර ගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙස, රජය මැදිහත් වී රුපියල් 100ක සහතික මිලකට එම වී මිලදී ගත යුතු බව සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ එවැනි වැඩපිළිවෙළක් හරහා ගොවියාට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගත හැකි බවයි.
දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් සතුව පවතින්නේ තෙත වී තොග වුවද, වී අලෙවි මණ්ඩලය ඒවා මිලදී නොගන්නා බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙහි වාසිය ලබාගන්නා මහා පරිමාණ වී මෝල් හිමියන් රුපියල් 70කටත් අඩු මුදලකට ගොවීන්ගෙන් වී මිලදී ගනිමින් සිටින බවත්, පසුගිය රජයන් සමයේ සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කළ සාර්ථක වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යළිත් කඩිනමින් ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය හේතුවෙන් මෙරට පාරිභෝගිකයා මෙන්ම ගොවියා ද දැඩි සූරාකෑමකට ලක්ව ඇති බව සේමසිංහ මහතා චෝදනා කළේය. දසදහසක් පමණ තිබූ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් සංඛ්‍යාව මේ වන විට හත් අටසියයක් දක්වා පහත වැටී ඇති බවත්, මහා පරිමාණ හිමියන් අධික ලාභ ලබමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන අතරතුර සාමාන්‍ය ගොවියා අන්ත අසරණ වී ඇති බවත් ඔහු පැවසීය.
එසේම, මහා පරිමාණ වී මෝල් හිමියෙකු විසින් රජය, ගොවීන් සහ අනෙකුත් මෝල් හිමියන් විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව ද සිය සංගමයේ කනගාටුව පළ කරන බව සභාපතිවරයා පැවසීය. නව රජය ද මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ බලපෑමට නතු නොවී, කඩිනමින් මැදිහත් වී වී මිල පාලනය කිරීමටත් ගොවියා ආරක්ෂා කිරීමටත් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

