නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ. එම උද්‍යාන සංචාරක ආකර්ෂණීය කලාප ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
ඒ අනුව බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හදුන්වා දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) සිදු කෙරිණි.
වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. ඊයේට (පෙබරවාරී 02) යෙදුනු ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි.
ලෝක තෙත්බිම් දිනයට නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් බැද්දගාන තෙත් බිම් උද්‍යානය සහ කෝට්ටේ, කොටුබැම්ම තෙත් බිම් උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සහ අද දිනය පුරා පැවැත්විණි.
කොළඹ අනුලා විද්‍යාලීය පරිසර නියමුවන් 80 කගේ සහභාගීත්වයෙන් පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහනක් සහ බස්නාහිර පළාතේ බාලදක්ෂිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් නිරීක්ෂණ හා අධ්‍යයන වැඩසටහනක් ඊයේ (02දා) සංවිධානය කර තිබු අතර ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනයේ සම්මානිත විද්‍යාඥ ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය එහි ප්‍රධාන දේශනය සිදු කළාය.
නාගරික සංවර්ධන අධිකාරියේ පර්යේෂණ අංශයේ පාරිසරික ශිල්පීන්, භූ දර්ශන ශිල්පීන් ඇතුළු නිළධාරීන් සදහා තෙත් බිම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණ. ලෝක තෙත් බිම් දිනයට සමගාමීවමෙම මාසය පුරාම විවිධවැඩසටහන් සංවිධානය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඇති රැම්සා තෙත්බිම් ගණන6 කි. මෙරට ප්‍රථම රැම්සා තෙත්බිම වන්නේ බුන්දලජාතික වන උද්‍යානයයි. දෙවැන්න ආනවිලුන්දාව අභය භූමියයි. ඊට අමතරව බලපිටිය මාදුගඟ අභයභූමිය, මන්නාරම වන්කාලේ අභය භූමිය, කුමන අභය භූමිය සහ විල්පත්තුව ජාතික උද්‍යානයද රැම්සා තෙත්බිම් ලෙස නම් කර ඇත. එමෙන්මරැම්සා සම්මුතිය මගින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද නාගරික තෙත්බිම් කලාපයක් ලෙස 2018 වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (උපදේශන) ආනන්ද සමරසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම් - කලාප 02) ලලිත් විජයරත්න, අධ්යක්ෂ (පරිසර හා භූ දර්ශන) චන්දනා කලුපහන, ප්‍රධාන බාලදක්ෂිකා කොමසාරිස් සුලාරි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ.
