ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නොමැති අතර ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1982 ක් පැවතිණි.
එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාම දැඩි අර්බුධකාරී තත්වයක් මතු වු අතර එයට විසඳුමක් ලෙස අදාල පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබීය.
තවත් තැපැල් සහයකයන් 269 දෙනෙකු ඉදිරියේ දී බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් සිටී.
මෙම තැපැල් සහයකයන් ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියට ඇතුළත් වේ.
තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණය සඳහා මෙම වර්ෂයේ රුපියල් මිලියන 2085 ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වීම් ලබාදීමෙන් අනතුරුව අදහස් දක්වමින් පැවසීය.
ඒ යටතේ තැපැල් දෙපාර්තුමේන්තුවට අවශ්‍යවන ලොරි රථ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් ද, කැබ් රථ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 320 ක මුදලක් ද, උප තැපැල් කාර්යාල වලට නවීන තාක්ෂණය එක් කිරීම සදහා අවශ්‍යවන ටැබ් පරිඝණක යන්ත්‍ර 1500 ක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 180 ක මුදලක් ද, පරිඝණක යන්ත්‍ර 225 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 75ක මුදලක් ද වෙන්කර ඇති බව ද, තැපැල් කාර්යාල යම් ප්‍රමාණයකට පුණර්ජනනීය සූර්යබල ශක්තිය ලබා දීමට රුපියල් මිලියන 40 ක මුදලක් ද වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
රුපියල් මිලියන 600 ක මුදලක් නව තැපැල් කාර්යාල ඉදිකිරීම සඳහා වෙන් කර ඇති බවත්, ඒ යටතේ නව තැපැල් කාර්යාල විස්සක් ඉදිකිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බව ද සඳහන් කර සිටියේ ය. මෙම ඉදිකිරීම් දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර නිම කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
තවත් රුපියල් මිලියන 600 මුදලක් තැපැල් කාර්යාල නවීකරණය කිරීමට වෙන් කර ඇති බවත්, තැපැල් කාර්යාල 209 ක් නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසී ය. මේ සියල්ල තුළින් ශ්‍රී ලංකා තැපැල් සේවාව නව මානයකට රැගෙන යන බවත්, එයින් මෙරට ජනතාවට විශිෂ්ට, කාර්යක්ෂම තැපැල් සේවාවක් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ සියලු දේවල් සපයනුයේ තැපෑල භාණ්ඩාරයට අමතර වැය බරක් වූ අවස්ථාවක බව අවධාරණය කළේ ය. එබැවින් මේ බඳවා ගැනීම් සියල්ල සිදු කරනුයේ සියලු සේවාවන් කඩිනමින් සපයා ජනතාවගේ විශ්වාසය දිනාගෙන, ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගනිමින් භාණ්ඩාගාරයට වැය බරක් නොවී අමතර ආදායමක් එක් කරනු ලබන තැනක් බවට තැපෑල පත් කර ගැනීමට බව ද අමාත්‍යවරයා සඳහන් කරනු ලැබී ය.
එම අභියෝගය අප භාර ගත යුතු බව සිහිපත් කළ අමාත්‍යවරයා විශය භාර අමාත්‍යවරයා ලෙස තමා සිය යුතුකම් කොටස ඉටු කරන බවත් එමෙන් ම තැපැල්පතිතුමා ඇතුළු කළමණාකාරීත්වය ඔවුනගේ වගකීම් නිසි ලෙස භාරගන්නා බවත් සේවකයන් ලෙස නව පත්වීම් ලාභී ඔබ ද ඔබට පැවරී ඇති වගකීම, අභියෝගය භාර ගැනීමට දායකවිය යුතු බව ඳ සඳහන් කර සිටියේ ය.
මේ සියල්ල ලබා දීමෙන් අනතුරුවත් තැපෑල ලාභ ලබන තැනක් බවට පත්කර ගත නොහැකි වන්නේ නම් භාණ්ඩාගාරයේ මුදල් තවදුරටත් යොදවමින් තැපෑල මේ ආකාරයෙන්ම පවත්වා ගෙන යා යුතු ද නැද්ද පිළිබඳව සිතා බැලීමට සිදු වන බව ද අමාත්‍යවරයා පැවසී ය.
අප කටයුතු කරගෙන යාමේ දී අමතර වියදම් තිබේ නම් අප ඒ පිළිබඳව සමාලෝචනයක නිරත වන බවත් තැපැල් කාර්යාලයක, උප තැපැල් කාර්යාලයක සේවය කරන සේවකයාට ගෙවනු ලබන වැටුපවත් එම කාර්යාලයෙන් ආදායම ලෙස නොලැබෙන්නේ නම් එම කාර්යාල තව දුරටත් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳව කරුණූ සලකා බැලිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් සඳහන් කරන ලදී.
විසි දහසකට ආසන්න තැපැල් සේවකයන්ගේ ක්‍රියාකලාපයන් මෙරට ජීවත්වන ජනතාවට විවිධ ආකාරයෙන් විවිධ පැතිකඩවලින් බලපාන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
එම සියලු දෙනා එක්ව එක පවුලක් ලෙස එකට බැදී කටයුතු කිරීම තුළින් තැපෑලට විශිෂ්ට අගයක් එකතු වන බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු වෘත්තිකයන්ගේ මෙන්ම සැම දෙනාගේම දායකත්වය අතිශයින්ම වැදගත් වන බව පැවසීය. තැපැල් සේවාවේ සංවර්ධනයට වත්මන් රජය සිදුකරන විශාල කාර්යභාරය මනාව තේරුම්ගෙන සියලුම තැපැල් සේවකයන් වගකීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි ද තමා බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200 කට අධික ඉතිහාසයක් පවතින අතර නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.
