තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
2026 ජාත්‍යන්තර පරිසර දිනය ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
අද (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙවර ජගත් පරිසර දින තේමාව ලෙස “දේශගුණික ක්රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” යන්න නම් කර ඇත.
“දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන්න මෙවර පරිසර දින තේමාව ලෙස ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසුවේය.
සෑම වසරකම පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කරන බවත් මෙවර පරිසර සතිය මැයි 30 වැනිදා සිට ජූනි 05 වැනිදා දක්වා පැවැත්වෙන බවද පැවසීය.
එම සතිය තුළ එක් එක් දිනයට විශේෂ පාරිසරික ක්‍රියාකාරකම් සැලසුම් කර ඇති අතර රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධාන එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු පැවසුවේය.
මෙවර පරිසර දිනයට සමගාමීව රිටිගල සංරක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලන්චිය වනාන්තරය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර “කුඩා බුබුල” දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
2025 පරිසර දිනයෙන් අනතුරුව ගත වූ වසරක කාලය තුළ පරිසර අමාත්‍යංශය ජාතික හා ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට පැවරී ඇති පාරිසරික වගකීම් ඉටු කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවද ඔහු සඳහන් කළේය.
පරිසර අමාත්‍යංශයට අනුබද්ධ ආයතන ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ බවත් එම ආයතනවල මානව හා භෞතික සම්පත් සම්බන්ධ දුර්වලතා අවම කිරීමට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් “වනස්පති” වැඩසටහන හරහා මේ වන විට වනාන්තර 81ක් රක්ෂිත ලෙස නම් කර ඇති බවද සඳහන් කළේය.
“බණ්දුල පෙතියා” ප්‍රදේශය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු කියා සිටියේය.
රට තුළ වන විනාශය ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබූ බැවින් වනාන්තර ආරක්ෂා කිරීමට “වන සුරැකුම් ඒකකය” ස්ථාපිත කළ බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම 1995 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දීම , “හරිත දියවර” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ පාරිසරික පර්යේෂකයන් දිරිගැන්වීම සඳහා විශේෂ වැඩසටහන් ආරම්භ කිරීමද සිදු කළ බව අමාත්‍යවරයා පැවසුවේය.
පරිසරයට අදාළ නීති සහ අණපනත් සංශෝධනය කිරීම සඳහාද පියවර ගෙන ඇති බවත් විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරියට අදාළ පනත සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බවත් පරිසර අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් ආයතනවල නීතිමය ව්‍යුහයන් ද යාවත්කාලීන කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

