ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් අනතුරුදායක වැල් පාලමෙන් ශ්‍රී ලංකාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් තම ප්‍රතිපතති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
"තරුණ තරුණියන්ට නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේම වගකීමයි. මිට මාස 7 -8කට කලින් රට තිබුණ තත්ත්වය ඔබට මතක ඇති. පීඩනය දරා ගන්න බැරිව ජනතාව පාරට බැස්සා. පසුගිය කාලයේදී ගත් පියවර නිසා පීඩනය අඩු වෙලා තිබෙනවා.
ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ඇවිත් තිබෙනවා. අනතුරුදාය වැල් පාලමෙන් ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අප සමත්වෙලා තිබෙනවා. අපි ඒ ආවේ ලේසි පහසු ගමනක් නෙමෙයි. හැබැයි ගමන තවම ඉවර නෑ. බිඳ වැටීමට ඔන්න මෙන්න තිබූ රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කළා. රජයේ වියදම් අඩු කළා. බදු ආදායම වැඩි කළා.
පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම පහළ ගියා. මේ නිසා රටේ ආර්ථිකයේ සිදුවන විනාශය ගැන දැනගත් ජනතාව හා ආයතන කිව්වා පැරණි බදු ක්‍රමයට යන්න කිව්වා.
මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියූ අයම අද එය විවේචනය කරනවා. බදු අඩු කිරීම සඳහා නව ප්‍රතිපත්ති හදුන්වාදීම ජනප්‍රිය තීරණයක්.
මතක තියා ගන්න මට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නෑ. මට අවශ්‍ය වන්නේ මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් යළිත් ගොඩ නංවන්නයි. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්ම තව අවුරුදු දෙක තුනකින් සෑම දෙනෙකුටම දැනෙයි.
බදු ගෙවිය යුතු සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 2 දෙක දක්වා ඉහළ නැංවිය යුතු බවත් උපයන විට ගෙවන බදු අහෝසි කළ යුතු බවත් ඇතැම් අය කියනවා.
උපයන විට ගෙවන බදු අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැම්මොත් රටට රුපියල් බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163යි. මේ සා මුදලක් අහිමි කර ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපි ඉන්නේ.
දුබල ආර්ථිකය නිසා අපිට මේ බදු බර වැඩියෙන් දැනෙනනවා. වැඩි බදු ප්‍රමාණයක් ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සියලු ජනතාව වක්‍ර බදු ගෙවනවා. තවත් මාස පහ හයක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමකට යන්න පුළුවන්.
මේ විදිහට ගියොත් තුන්වැනි හා හතරවැනි කාර්තුවේදී රජයේ සේවකයන්ට අමතර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශට සහන දෙන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගත වෙද්දී අද ලැබෙන ආදායමට වඩා සියයට 75කට වැඩි ආදායමක් ජනතාවට ලබන්න පුළුවන්.
බලය ලැබුණොත් බදු අඩු කරනවා. වැටුප් වැඩි කරනවා කියනවා. මම කිසි වෙටක කරන්න බැරි දේ කියන්නේ නෑ. අය වැය කථාවේදී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදි කියූ දේ කරමින් යනවා.
සෘණ ආර්ථිකයක් සිට ධන ආර්ථිකයක් කරා අපි යනවා. 2023 අවසානයේදී ධන ආර්ථික වර්ධනයක් අපි ලබා ගන්නවා. මම ජනපති ලෙස මුලින්ම පාර්ලිමේන්තුව අමතද්දී රටෙ උද්ධමනය සියයට 70යි. අපි ගත් ක්‍රියාමාර්ග නිසා එය ජනවාරි මාසයේදි සියයට 54ක් දක්වා පහත හෙළන්න අපිට හැකිවුණා.
අපි වෙහෙමෙන්නේ 2023 අවසානයේදී තනි අගයකට ගේන්න. විදේශ සේවකයන් 2022 අවසානයේදී ඩොලර් බිලියන 4ක විදේශ විනිමය අපිට දුන්නා. බිංදුවට වගේ වැටී තිබෙන විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා වැඩි කර ගත්තා.
සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැගුනා, ජනවාරි මාසයේදි ලංකාවට පැමිණි සංචාකයන් ගණන ලක්ෂයකට වැඩියි. ග්‍රීසිය අපි වගේම ආර්ථික බංකොලොත් භාවයට වැටුණා. බංකොලොත් තත්ත්වයෙන් මිදී නැවත ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට ඔවුන්ට වසර 13ක් ගියා.
අපිට 2026 වසරේදි බංකොලොත් තත්ත්වයේන මිදෙන්න පුළුවන්. අපි අසීරුතා මැද ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම ආරම්භ කර තිබෙනවා. ඉදිරි ගමන යාමට හැක්කේ අයි.එම්.එෆ්. සමග ඇති කර ගන්නා පදනම මතයි.
අපි යන මගට විරුද්ධ අයට කියන්නේ විකල්පයක් කියන්න කියලයි. අපි අයි.එම්.එෆ්. සමග ගිවිසුවේ අවසන් අවස්ථාවට ඇවිත් තිබෙනවා.
"