රටට සතුරු විනාශකාරී ගමනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක ගමන් නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් තම පක්ෂයට නැති බවයි.
එබැවින් විපක්ෂ මවන බොරු බිල්ලන්ට බිය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහය දක්වන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.
උඩුගම්පොළ,රෙජී රණතුංග සමරු සම්මන්ත්රණ ශාලාවේ පැවති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා ඊයේ (17) මේ බව සඳහන් කළේය.
“විපක්ෂය මැතිවරණයක් ඉල්ලලා කෑ ගහනවා. ඡන්දය දුන්නේ නැත්නම් කොළඹ වටලනවා කිව්වා. මම ටී.වී එකේ දැක්කා බොහොම සුළු පිරිසක් තමයි ඇවිල්ලා හිටියේ. මම හිතන්නේ ඒක ඔවුන් විනෝදෙට කරන දෙයක්. ඡන්දය ඉල්ලල වැඩියෙන්ම කෑ ගහන්නේ සියයට තුනේ රතු සහෝදරයෝ ටික. ඔවුන්ගේ ඉතිහාසය බලන්න. ජ.වි.පෙ ඔවුන්ගේ ඉතිහාසයේ වැඩියෙන්ම කරලා තියෙන්නේ මැතිවරණ මඟ ඇරපු එකයි. සජිත් මහත්තයා ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ඉදිරිපත් වෙනවා කියලා අන්තිම මොහොතේ මඟ ඇරියා.
මේ දෙගොල්ලටම මහ පොළවේ දේශපාලන යථාර්ථය තෙරේන්නේ නෑ. සෙනඟ දැක්ක ගමන් දෙගොල්ලම චූං වෙනවා. ප්‍රායෝගික දේශපාලනය මීඩියා ඉස්සරහ ෂෝ දානවා වගේ සරල දෙයක් නෙමෙයි.
රජය ආර්ථික අර්බුද විසදෙන්න පටන්ගත්ත විතරයි. මේ වගේ වෙලාවක ඡන්ද තියන්න ගියොත් ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා.මේ ඇත්ත තේරුම් ගන්න බැරි මිනිස්සු බලය අරගෙන රට හදයි කියල අපිට විශ්වාස කරන්න පුළුවන්ද. වෙන රටක විපක්ෂයක්නම් අර්බුද විසඳන්න පවතින රජයට උදව් කරනවා.ඒත් අපේ රටේ විපක්ෂය ජනතාවගේ හිත් ඇතුලෙ බොරු බිල්ලෙ මව මවා රජයේ ගමන අවහිර කරනවා.ජනාධිපතිතුමා සුදුසු වෙලාවෙදි රටට ගැලපෙන මැතිවරණයක් තියාවි.එතකම් අපි ඔක්කොම එකතුවෙලා රට හදමු. දේශපාලන කරන වෙලාවට දේශපාලන කරමු.
අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ බොහොම දුක් මහන්සියෙන්. අභියෝගවලට බයේ අපි පැනලා යන්නේ නෑ.අපේ ගෙවල් ගිනි තිව්වා. කොච්චර තාඩන පීඩන ආවත් තවම අපිත්, අපේ පාක්ෂිකයොත් පොහොට්ටුව එක්ක ඉන්නවා. මැතිවරණයක් තිව්වොත් ආපහු ආණ්ඩු පිහිටුවන්නෙත් පොහොට්ටුවේ අපිම තමයි.
පහුගිය කාලේ අපි ටිකක් නිහඬව හිටියා. විපක්ෂය හිතුව පොහොට්ටුව මැලවිලා කියලා. ඒක එයාලට වෙච්චි වැරදීමක්. ඒ කාලේ පක්ෂයක් විදියට අපිම අපේ වැරදි අඩුපාඩු ගැන ස්වයං විවේචනයක් කර ගත්තා. දක්ෂ නාවිකයන් බිහිවෙන්නෙ කුණාටු මුහුදෙ මිසක සංසුන් මුහුදක නෙමෙයි.
දැන් අපි හිටියට වඩා ශක්තිමත්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට බයේ පස්ස දොරෙන් පැනලා දුවන්නේ නෑ. ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් අපි ඒකට සූදානම්. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් අපි ඒකටත් සූදානම්. අපේ පක්ෂය ඕනෑම මැතිවරණයකට ඕනෑම මොහොතක සූදානම්.
අපිට අංක එක අපි ඉපදුණු මේ රට.රට දියුණු කිරීමේ න්‍යාය පත්‍රය හැරුණම වෙන න්‍යාය පත්‍ර අපිට නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ අභියෝග ජයගත් නායකයෙක්. එහෙම නායකයෙක්ගේ සෙවණෙ හැදුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කවදාවත් මේ රට විනාශ කරන පාරක ගමන් ගන්නෙ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අපි උපරිම සහය ලබාදෙනවා. අපියි එතුමයි අතර ගැටළු නැහැ. ජනාධිපතිවරයා එක්ක එකතුවෙලා රට විකුණනවා කියලා විපක්ෂ බොරු බිල්ලෝ මවනවා. ඔවුන් එහෙම කරන්නේ ආර්ථිකය ස්ථාවර කරලා රට දියුණු කිරීමේ මාර්ගය අහුරන්නයි. ඒක නිසා විපක්ෂ මවන බොරු බිල්ලන්ට හසු වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.”