නිවෙස් ගිනි තබා තර්ජනය කොට සිය දේශපාලනය නතර කළ නොහැකි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කිසිදු බලවේගයකට සිය දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි. මැයි 09 වැනිදා සිය නිවස ගිනි තැබීම නිසා නව දේශපාලන පන්නරයක් ලැබු බවද ඇමතිවරයා කිවේය.
“පසුගිය 09 වැනිදා අරගලයේදී වැඩිම නිවාස සංඛ්‍යාවක් ගිනිබත් කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයේයි. ඔවුන්ට ඕන වුනේ ගම්පහ ඡන්දදායකයින් බියපත් කොට ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමටයි. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ. ඒ නිසා ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සුදානම්.” යැයිද ඇමතිවරයා මෙහිදී කිවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ රුපියල් මිලියන 395 ක් වැයකොට ඉදිකළ මිනුවන්ගොඩ නව තෙමහල් වෙළද සංකීර්ණය සහ රුපියල් මිලියන 20 ක වියදමින් ඉදිකළ මිනුවන්ගොඩ වනවදුල පරිශ්‍රය විවෘත කිරීම අවස්ථාවට ඊයේ (18) දින සහභාගි වෙමිනි.
“අද වැඩ කරන්න බැරි අය විවේචනය කර කර අඩු පාඩු හොය හොය මිනිස්සුන්ව බොරුවට උසි ගන්වන්න කටයුතු කරනවා. වැඩ බැරි ටාසන්ලට පුළුවන් ඔච්චරයි විවේචනය විතරයි.
අද මේ රටේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න තමයි වර්තමාන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ආණ්ඩුවත් කටයුතු කරගෙන යන්නේ. ඒ සිස්ටම් චේන්ජ් එක තුළ එකට සිට වැඩ කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාව අපි විවේචනය කළා.
එතුමාට නොසෑහෙන්න දොස් කිව්වා. හැබැයි රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ කුමන දේශපාලන උවමනා එපාකම් තිබුණත් එකට එකතු වී රට ගොඩගැනීමේ භාර්යදූර්ය කාර්යයට අපි අතගසා තිබෙනවා. බොහෝ දෙනෙක් බයයි අභියෝගවලට මුහුණ දෙන්න. අභියෝග වලින් පලා යනවා. වර්තමාන විපක්ෂ නායකතුමා, විවේචනය කරන අනුර කුමාර අභියෝග භාර ගන්න කැමැති වුණේ නෑ.
සිස්ටම් චේන්ජ් එක ඉස්සරහට දාගෙන අරගලකාරයෝ මේ රටේ නීතිය හා සාමය නැති කරා. ඒ හරහා ඔවුන්ගේ ජාවාරම් ඉදිරියට ගෙන යන්න උත්සහ කළා. එදා අරගලය ආරම්භ කරපු අරගලේ වෙනුවෙන් පෙනී හිටපු අය එළියට ඇවිල්ලා කියනවා අරගලය වැරැදි මාවතකට යොමු වුණා කියලා.”