සිය භාරකාරීත්වය යටතේ සිටි පහළොස් හැවිරිදි සිය දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ පියෙකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා අපයෝජනයට දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් හා රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි මුදල් හා දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් වසරක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙසත් බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද(8) නියෝග කළේය.
මෙසේ සිර දඩුවම්,වන්දි මුදල් හා දඩ මුදල් නියම කෙරුණේ පිටිගල,පොරවගම,ජෝන්ගලවත්ත ලිපිනයේ පදිංචි රනේපුර හේවගේ සුසන්ත නමැත්තාටය.
පහළොස් හැවිරිදි දියණිය සිය පියාගේ භාරයේ තබා මව විදෙස්ගතව සිටියදී බීමතින් පැමිණෙන පියා මේ දැරිවියට 2013 ජනවාරි මස 01සිට අවස්තා කිහිපයකදීම එම වසරේම ජනවාරි 31දක්වා කාල පරාසයක් තුළ බරපතල ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව මේ නඩුව ගොනු කළ පිටිගල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
පෙර දින පිනුල් වෙච්ච පරිප්පු වෑන්ංජනයක් කෑමට ගත් දියණිය වමනය කර ඇති බවත් සැකකාර පියා ඒ සබන්ධයෙන් ඇයට කිසියම් පිරිමි කෙනෙකු කරදර කර ඇතැයි පවසා දියණියට අවස්ථා කිහිපයකදීම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
පියාගෙන් දිගින් දිගටම සිදුවන බරපතල ලිංගික අපයෝජනය ඉවසා සිටීමට බැරිවූ තැන දියණිය සිය පියාගෙන් සිදුවන ලිංගික අපයෝජනය පිළිබද අසල්වාසී ඥාතියෙකුට දැනුම් දීමෙන් පසු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පියා පිටිගල පොලීසිය විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව චෝදනා ගොනු කොට අධිකරණයේ නඩු පවරන ලදි.
වසර දහයක දීර්ඝ විභගයකින් අනතුරුව සිය දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ සැකකාර පියාට සිර දඩුවම්,වන්දි හා දඩ මුදල් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරන ලදි.