ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.
ඒ් මහතා මෙම නිර්දේශය සිදු කළේ 2022 මැයි 13 දින වන විට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් ඊයේ (31දා) කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.
කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි. එය එම ආධාර මුදලින් 28% ක් වූ බවත් 2022 මැයි 18 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත් මෙහි දී සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.
රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්හ.
විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් පවතින මෙම ගැටලු සහගත තත්ත්වයන් කඩිනමින් විසඳාගෙන ඉක්මනින් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අනුව ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදුකොට මෙම මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කළේය.
මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැසුවේ මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුකරීමට කටයුතු කරමින් සිටින බවත් වර්තමානය වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත්ය. මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ මෙම මුදල් වලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම කාල සීමාව තුළ පත්වීම හේතුවෙන් ද මෙම කටයුතු ප්‍රමාද වූ බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය නාලක ගොඩහේවා, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.
