ණය ප්‍රතිව්‍යුහගත නොකලානම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් ශ්‍රී ලංකාවට තිබුණ බවත් එය ගෙවීම අපහසු නිසා ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මාධ්‍ය ආයතන ප්‍රධානින් හා ජනපතිවරයා අතර පැවැති හමුවේදී ඊයේ (23දා) ඔහු මේ බව කියා සිටියේය.
"අපට මේ තිබෙන ආකාරයට ගෙවීමට නොහැකි නිසා අපට ණය ලබා දුන් වාණිජ ආයතන සහ පුද්ගලික අංශ සහ ඒ ඒ රජයයන් ගෙන් අප ඉල්ලා සිටිනවා අපට මේ සඳහා සහනයක් ලබා දෙන ලෙස.
එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූලය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා. ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.
ඊළඟ පියවර වන්නේ ඒ සහතිකය අනුව සාකච්ඡා කර අපට වසරකට බිලියන 06 බැගින් ගෙවීමට තිබෙන ණය මේ කාලයේ ගෙවිය නොහැකියි නමුත් යම්කිසි සහනයක් ඇතිව දීර්ඝ කාලීනව ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමයි.
මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.
උදාහරණයක් ලෙස දැනට අපට බිලියන 50ක් වසර දහයෙන් ගෙවීමට තිබෙනවා නම් අපි කියනවා ඊට අවුරුදු විස්සක, තිහක හෝ ඊට වැඩි කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
වසරකට ගෙවීමට ඇති විදේශ ණය වාරිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා අපට ගෙවීමට හැකියාවක් නෑ. ඒ අනුව එම ගණනට අඩු කර දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඉතුරිය දීර්ඝ කාලීනව ගෙවීම සඳහා තමයි දැන් සාකච්ඡා පවත්වන්නේ."