ඩෙංගු මරුවාට තුන් හැවැරිදි දියණිය බිලි
“දුවට උණ අරගත්ත දවසෙම මම බෙහෙත් ගන්න අරගෙන ගියා, දවස් තුනකින් ලේ රිපෝට් ගේන්න කිව්වත් මම එදාම අරගෙන ගියා, ඒවා හොඳ නෑ කියලා නැවත රිපෝට් ගේන්න කිව්වා. ඒත් බෙහෙත් වෙනස් කළා විතරයි වෛද්‍යවරයා රෝහලකට යන්න කියලා උපදෙස් දුන්නේ නැහැ,
මම බයට තමයි දුවව දික්වැල්ල දිසා රොහලට ගෙනගියේ, ඒත් මට හිටපු එකම දියණිය බේරගන්න මට බැරිවුණා.” යැයි ඩෙංගු රෝගය අසාදනය වී ගාල්ල ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කුඩා දැරියකගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඇගේ මව කීවේය.
මෙලෙස මියගොස් ඇත්තේ යද්දෙහිගේ ජිපුලි මනුල්යා නමැති මාතර නාවිමන, මාකාවිට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 03ක් වයසැති දැරියකි.දැරියගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පසුගිය 20 වැනි දා ගාල්ල ජාතික රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී. එහිදී සාක්ෂි දෙමින් දැරියගේ මව වන විරිත්තමුල්ල ගමගේ තිළිණි ශ්‍යාමලී (35) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ ද කීවේය.
“මියගොස් සිටින්නේ මගේ එකම දියණියයි. ඇයට වැඩිමල් පුතුන් දෙදෙනකු අපට සිටිනවා. මගේ සැමියා ධීවර රැකියාව කරන්නේ, මියගිය දියණිය පෙර පාසල් යනවා. පසුගිය 13 වෙනිදා උදේ දරුවට උණ ගත්තා, මම ගෙවල් ලඟ වෛද්‍යවරයෙකුට පෙන්වා බෙහෙත් ගෙනාවා. උණ අඩුවුණේ නැත්නම් දින තුනකින් ලේ රිපෝට් අරගෙන එන්න කියලා ඔහු ලියලා දුන්නා. ඒත් දරුවට උණ අඩුවුණේ නැති නිසා මම එදාම හවස ඒ ලේ රිපෝට් අරගත්තා.
14 වෙනිදා උදේ ගිහින් ඒවා වෛද්‍යවරයාට පෙන්නුවා. ඒවා හොඳ නෑ කියලා තව රිපෝට් වගයක් අරගෙන එන්න කිව්වා. ඒවත් එදාම හවස අරගෙන ගිහින් පෙන්නුවා. ඒ රිපෝට්නුත් හෙඳ නෑ කියලා බෙහෙත් වෙනස් කළා. ඒත් රෝහලකට යන්න කිව්වේ නැහැ.
මම වැඩි හොඳට දරුවව දික්වැල්ල දිසා රෝහලට එක්කගෙන ගියා, රෝහලේ දරුවව නතර කරගෙන සේලයින් දුන්නා. 15වෙනිදා දරුවව මාතර රෝහලට යැව්වා. එදාම රෑ දරුවව කරාපිටිය රෝහලට එව්වා. ඒ වෙනකොට දරුවට ගොඩක් අමාරුයි, දරුවා කෙඳිරි ගගා හිටියේ, දරුවව කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා. 16 වෙනිදා උදේ මම සැමියටත් කෝල් කරලා කිව්වා, දුවට අමාරුයි කියලා, ඔහු මුහුදු ගිහින් හිටියේ, දරුවා මැෂින් වලට හයි කරලා තිබුණේ, ඇයට ඩෙංගු රක්තපාත තත්ත්වයට ඇවිත් කියලා වෛද්‍යවරු කිව්වා. සිරුරට විෂබීජයකුත් ඇතුල් වෙලා කිව්වා. දරුවාගේ තත්ත්වය බරපතලයි කිව්වා. 17 වෙනිදා පාන්දර සැමියාත් දියණිය බලන්න ආවා. පසුගිය 20වෙනිදා උදේ 8.35ට විතර දරුවා නැතිවුණා.”
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී පබසරා ගුණසිංහ මහත්මියගේ වාර්ථාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සහ අනෙකුත් වෛද්‍ය වාර්තා අනුව මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මෙය, ඩෙංගු රක්තපාත උණ වැළඳීමෙන් ඇතිවූ සංකූලතා නිසා සිදුවූ මරණයක් බවට තීරණය කලේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
