ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොලැබුණහොත් නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීම ප්‍රමාද වූයේ ශ්‍රී ලංකාවට ඩීසල් සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බවට තමාට දැනගන්නට ලැබුණු බවත්, මේ වනවිට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිණෙමින් ඇතැයි සැල වී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එම ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොපැමිණියහොත් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද වික්‍රමසිංහ මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙරටට ඉන්ධන සැපයුම ණය ක්‍රමයක් හරහා ලබාදෙන ලෙසට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි තමා මාධ්‍ය වාර්තාවල කියැවූ බවත්, සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් එසේ නොකරන නමුත් මෙරට විදේශ ඇමතිවරයා කළ ඉල්ලීම ඉටු වියයුතු යැයි තමා ප්‍රාර්ථනා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
"දැන් රූපවාහිනියක්, මෝටර් රථයක් පවා ගන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ලංකාව යනු ආනයනයට වැඩි බරක් තබා තිබෙන ආර්ථිකයක්. අපට විදේශ විනිමයෙන් ගෙවන්න විශාල ණය බරක් තිබෙනවා. නමුත් අපේ විදේශ සංචිත තිබෙන්නේ ඉතා පහළ අගයකයි.
රජයේ ණය බර ඉහළ යමින් තිබෙනවා. අප මීට මුහුණදෙන්නේ කෙසේද? ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වයට ගෝලීය තත්ත්වය කිසිසේත් අදාළ නැහැ.
ලෝකයේ සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ගත් විට 2020 පළමු කාර්තුවේ සිට 2021 කාලසීමාව දක්වා සංචිත ට්‍රිලියන 11 සිට ට්‍රිලියන 12 දක්වා වැඩි වී තිබෙනවා.නමුත් ලංකාවේ විදේශ විනිමය සංචිතය පහළ බැස තිබෙනවා.
එම කාරණය රඳා පවතින්නේ අප විදේශ විනිමය කළමනාකරණය කරන්නේ කෙසේද යන කාරණය මතයි. ඉදිරියේදී මෙය විශාල අර්බුදයක් වනු ඇති බවට පෙනෙන්නට තිබෙනවා. රජයට වසරක් හෝ දෙකක් මෙය ඇදගෙන යන්න පුළුවන් වේවි. නමුත් යම් අවස්ථාවක අපට අපහසු තීරණයක් ගන්න සිදුවේවි" යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
