ඉදිරි සති කිහිපය තුළ ඩීසල් පිළිබඳව ගැටලුවක් නොමැති බවත් තවත් දින දෙකක් පමණ තෙක් පෙට්‍රල් ලබාදීමට හැකියාවක් නොමැති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
පෙට්‍රල් හා ඩීසල් පිළිබඳ තත්ත්ව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"අද වන විට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබිලා තියෙනවා. ඊයේ දින සිට ලංකාවේ තිබෙන සියලුම ඉන්ධන හල් වෙත සුපර් ඩීසල් හා ඔටෝ ඩීසල් කියන දෙවර්ගය බෙදා හරිමින් ඉන්නවා. අද සවස වන විට ලංකාවේ තිබෙන 1190ක් වන ඉන්ධන හල් වෙත අවශ්‍ය ඔටෝ ඩීසල් හා සුපර් ඩීසල් අඛණ්ඩව ලබාදෙන්න අපි කටයුතු කරනවා.
ඒ අනුව ඉදිරි සති කිහිපය සඳහාත් අපි අඛණ්ඩව ඩීසල් ලබාදීම සිදුකරනවා. පෙට්‍රල් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වැනිදා පමණ ඉදලා පෙට්‍රල් නෞකාවක් තිබෙනවා. මේ තිබෙන මූල්‍ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නෑ අවශ්‍ය ගෙවීම් කරන්න.
ඒ වගේම ඒ නෞකාවට මීට මාස කිහිපයකට පෙර කළ සැපයුමක් වෙනුවෙන් ඩොලර් මිලියන 53කුත් තිබෙනවා ගෙවීම් කටයුතු කරන්න. මේ තියෙන නෞකාවට දැන් තියෙන මිල වගේම ඊට පෙර නිකුත් කළ ණයවර ලිපියට ගෙවීම් කර නොමැති වීම හේතුවෙන් ඉන්ධන ලබාදීමට ඔවුන් කටයුතු කළේ නෑ.
ඊයේ දිනයේ තමයි මහ බැංකුව දුන් ලිඛිත පොරොන්දුවක් අනුව දැන් ඒ සමාගම කියන්නේ නෞකාවට දැන් ගෙවන්න තියෙන මුදල ගෙවලා නිදහස් කර ගන්න පුළුවන් කියන්නේ. අද දවස වෙනුවෙන් තවමත් මුදල් සෙයාගෙන නෑ.
අද දවසේ හෝ හෙට දවසේදී මේ ගෙවිම් කරන්න කටයුතු කරනවා. මේ අනුව දින දෙකක් යන තෙක් පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා.
විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පෙට්‍රල් ලබා ගැනීමට පොලිම්වල ඉන්න එපා. සෙනසුරාදා සිට තමයි පෙට්‍රල් ලබාගැනීමට පුළුවන් වෙන්නේ.