සමාජ ක්‍රියාකාරීයකු බව කියන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විදෙස් ගමන් තහනමක් අද (23) නිකුත් කළේය.
අපරාධයට සම්බන්ධ බවට තෙරතුරු හෙළි වී ඇති සැකකාර පිය පුතු දෙපළ රටින් පිටව යෑමේ සුදානමක් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි කියමින් වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මෙලෙස විදේශ ගමන් තහනමක් පනවන ලද්දේ මීතොටමුල්ලේ පදිංචි බන්ධුල බියල් සහ මාධව සුදර්ශන නමැත්තන්ටය.
ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීහු වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී ඊයේ (22) රාත්‍රී රාත්‍රී 9.10 පමණ ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඉලක්ක කර මෙම වෙඩි තැබීම කර ඇතැයි දැනුම් දුන්හ.
ඩෑන් ප්රියසාත් නමැත්තාගේ බිරිඳගේ නැගණිය පදිංචි වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ නිවසේ සාදයක් පෙරේදා (22) රාත්‍රීයේ පවත්වාා ඇති බවත් මරණකරු ඊට සහභාගි වී සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කර ඇති බවත් දැනුම් දුන් පොලිසිය සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී වෙඩික්කරුවන්ගේ පාර්ශවය සහ මරණකරුගේ පාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන බවත් මෙම අපරාධයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති සැකකරුවන් රටින් පිටව යෑමේ සුදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් දැනුම් දුන්හ.
කලක පටන් දෙපාර්ශවය අතර පවතින කෝන්තරයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම කළ බවට සැකකරන බවත් මරණකරුගේ සහෝදරයාද 2022 වසරේදී කපා කොටා ඝාතනය කළ බවට කරුණු අනාවරණය වන බවත් දැනුම් දුන් පොලිසිය සැකකරුවන් අපරාධයට සම්බන්ධ වී ඇති අකාරය අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කරන බවත් දැනුම් දුන්හ.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් රටින් පළා යෑමේ සුදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වන හෙයින් සැකකරුවන්ට රටින් පිටුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයිද මරණකරුගේ මෘත දේහය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයිද ඉල්ලා සිටි වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීහු ස්ථානීය පරීක්ෂණයක් පැවත්වන්නැයිද ඉල්ලා සිටියහ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මෘත දේහය මරණකරුගේ බිරිඳට බාර දීමට නියම කරන්නැයිද පොලසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතතුරුව සැකකාර පිය පුතු දෙපළ රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මරණකරුගේ මෘත දේහය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියම කළේය.
ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තැබු බව කියන වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයට සහ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයට ගොස් ස්ථානීය පරීක්ෂාවන් කළ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා
වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව වෙඩි තැබූ ස්ථානය වන වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පරීක්ෂණයක් සිදු කිරීමට ගිය අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුව කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මෘත දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කළේය. පසුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මෘත දේහය ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ බිරිඳට බාර දෙන ලෙසට වැල්ලම්පිටිය පොලීසියට නියම කළේය.
සචිත්ර ගුණසේකර