ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට (30) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව පෙ.ව 8.45 වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි පැමිණීම අපේක්ෂා කෙරේ.
පෙ.ව.9.00 ට පමණ ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථය පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණීමට නියමිතය.
ඒ මහතාගේ දේහය පෙරවරු 9.00 සිට පෙරවරු 10.00 දක්වා එහි තැන්පත් කොට තැබෙන බවද මහ ලේකම්වරයා පැවසීය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.
1941 සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 දක්වා කටයුතු කළේය.
1964-1967 ජා-ඇල නගර සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙස සක්‍රීය දේශපාලනයට එක්වූ ඒ මහතා පසුව 1967-1970 ජා-ඇල නගර සභාවේ උප සභාපති ලෙස පත් වි 1970-1971 ජා-ඇල නගර සභාවේ සභාපති හා 1971-1976 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය. 1976-1977 පළමු ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද 1978-1988 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව ඒ මහතා 1989 සිට 2015 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය , කම්කරු අමාත්‍ය , ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍යධුර ගණනාවක්ද හෙබවීය.