දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම පෙත්සම්කරු විසින් අද (21දා) ඉල්ලා අස්කර ගනු ලැබීය.
දේව මෙහෙයකදී තමන් කළ ප්‍රකාශයකින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් රහස් පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව සඳහන් කරන පෙත්සම්කරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු පිළිගත් විනිසුරු මඬුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එලෙස අවසර දුන්නේය.
මෙම පෙත්සම මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශ්රමින්ද වික්‍රම මහතා මූලික විරෝධතාවක් මතු කරමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් කරන බවත්, පෙත්සම්කරු සමහර කරුණු වසන් කර ඇති බවත් සඳහන් කරමින් තවත් සමහර කරුණු අධිකරණය නොමග යවන බවත් පෙන්වා දෙමින් මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීමට අවසර දුන්නේය.