ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 700කමුදලක් අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය මේ පිළිබඳව සඳහන් කර සිටියි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අයවැය සහ සුභසාධන කටයුතු සඳහා ලබාදෙන සහයෝගයක් ලෙස මෙම මුදල් අනුමත කෙරෙනු ඇතැයි සඳහන් වෙයි.
එහිදී ඩොලර් මිලියන 500ක මුදලක් අයවැය සඳහා වන සහායක් ලෙස අනුමත වනු ඇති බවත්, එය ඩොලර් මිලියන 250 බැගින් වූ කොටස් දෙකක් යටතේ හිමිවනු ඇති බවත් එම ලෝක බැංකු ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මේ අතරින් පළමු මුදල් කොටස ලෝක බැංකුවෙහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගින්ම බොහෝ දුරට ලබන ඔක්තෝබර් මාසයේදී නිකුත් කෙරෙනු ඇති බවත් අදහස වී තිබේ. එහිදී ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින වැඩසටහනේ පළමු විවරණය පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි පැවසෙයි.
එසේම ලෝක බැංකුව ලබා දෙන ඉතිරි ඩොලර් මිලියන 200ක මුදල ශ්‍රී ලංකාවේ දුප්පතුන් සඳහා වන වැඩසටහන් වෙත ලබාදීමටත් සැලසුම් කෙරී ඇතැයිද ලෝක බැංකු ආරංචි මාර්ග සඳහන් කරන බව රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබේ.