ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා බව පවසමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායා රූපය ව්‍යාජ එකක් බවත්, එම වන අලියා අද (4 දා) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකිවූ බවත් වයඹ සහ අනුරාධපුර කලාප භාර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ ජේෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.
එම වන අලියාගේ තත්ත්වය සොයා බලා ප්‍රතිකාර කිරීමට වන ජීවී නිලධාරීන් සෝදිසි කිරීම් වල නිරත වුවද, ඉන්ධන නොමැති කම හේතුවෙන් එම කටයුතු වලට බාධා මතුව ඇතැයිද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අනතුරට සමගාමීව තුවාල සහිත වන අලියෙකුගේ ඡායා රූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව පැවසූ වෛද්‍යවරයා, එම ඡායාරූපය මීට වසර කීපයකට පෙර අනතුරකට ලක්වූ ඉන්දියාවේ අලියෙකුගේ ඡායා රූපයක් බවද වැඩි දුරටත් පැවසීය.
මෙම අනතුරින් ප්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරෙකු වන සමන් ඇන්තනී නැමැති රෝගියා අද (4දා) වන විටත් පෙනහළු වලට සිදු වූ හානි හේතුවෙන්, ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබූ බවත්, එම රථයේ ගමන් කළ ඉරේෂ් ලක්මාල් නමැති අයගේ තත්ත්වය බර පතළ නොවන බවත්, එම රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගල්ගමුව, ගිරිබාව 'තඹුත්ත', ප්‍රදේශයේ පිහිටි හච්චිකුච්චි විහාරස්ථානයේ රූගත කිරීමේ කටයුත්තකට සහභාගී වී, ඉකුත් (2 දා) රාත්‍රී දහයට පමණ අනුරාධපුර පිහිටි නවාතැන් පොලට පැමිණෙමින් සිටියදී තලාව මොරගොඩ ප්‍රදේශයේදී, එම පිරිස ගමන් කළ කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
එම අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා එදින රාත්‍රියේම වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.