කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ අඟල් හතලිස්දෙක ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක් අතුරුදහන්ව ඇතැයි මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති. බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශෙෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් අද (8දා) අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ රූපවාහිනී යන්ත්‍ර දෙක අස්ථානගත වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්යක් මෙන්ම පොලිසියටද පැමිණිල්ලක් සිදු කොට ඇති බවයි.
මෙතෙක් එයට සිදු වුයේ කුමක්දැයි හෙළි වී නොමැති බව ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් රෝහල් ආරක්ෂක අංශ කටයුතු කර ඇති ආකාරය පිළිබඳව අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ රෝහල් ආරක්ෂක අංශය සම්බන්ධයෙන් පැහැදීමක් තමා තුළ නොමැති බවයි.
ආරක්ෂක අංශ වෙනස් කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට ද තමා දන්වා යවා ඇති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා රෝගීන් ගේ බඩු අස්ථානගත වීම මෙන්ම විවිධ ආම්පන්න අතුරුදහන්වීම පිළිබඳවද විධිමත් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවද වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ හොරකම් පමණක් නොව විවිධ අක්‍රමිකතා ද රෝහල් තුළ දක්නට ලැබෙන බවයි.
පසුගියදා රෝහලේ ප්‍රධාන ලිපිකාරිනිය ගේ ගෙලට පිහිය තබා ඇයගේ ගෙල බැඳි රන් මාලයද කඩාගෙන ගිය සිදුවීම්ක් ද වාර්තා වූ බව සඳහන් කරන රුක්ෂාන් මහතා මේ වන විට රෝහලට අවශ්‍ය රෝහල් පොලිස් මුරපොළක් නොව පොලිසියක් බවද පැවසීය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජංගම දුරකථන මෙන්ම ඔවුන්ගේ මුදල් පසුම්බි නැති වූ සිද්ධීන් ද කීපයක් ඇතුලුව විවිධ පාර්ශව මරදාන පොලිසියට පැමිණිළි පිට පැමිණිලි කලත් පොලිසිය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බව වෛද්‍ය රුක්ෂාන් මහතා පැවසීය.
රෝහල් ආරක්ෂක අංශයට පිළිබඳව ද යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති බව සඳහන් කළ බෙල්ලන මහතා මිලියන ගණනින් ඔවුන්ට ගණන් පිය වුවද ඔවුන් නිසි ආකාරයෙන් සේවය සිදු නොකරන්නේ යැයි සැකයක් මතුව ඇති බව පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා