කොළඹ ජාතික රෝහල තුළ මේ වනවිටකෝවිඩ් රෝගීන් 75දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත්,ඔවුන් සියලු දෙනා කෝවිඩ් මර්දන එන්නතෙහි නියමිත මාත්රාලබාගෙන නොමැති බවත්එමරෝහලෙහි කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ,කෝවිඩ් ආසාදිත පුද්ගලයන් 325දෙනෙකු අද (03දා) වනවිට ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.
ඒ අනුව කෝවිඩ්-19 ඩෙල්ටා රැල්ල පැවති කාලය තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කෝව්ඩ් රෝගීන් සංඛ්‍යාවට සමාන රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වෙමින් පවතින බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා, එම තත්ත්වය දිවයින පුරා නිරීක්ෂණය වන බවද පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඊයේ කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ සතිශ්චන්ද්‍ර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, "දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සියලු දෙනාම පාහේ පූර්ණ එන්නත්කරණයට ලක්ව නැහැ. ඔවුන්ගෙන් බහුතරයක් කෝවිඩ් එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා නෑ.
ඊට අමතරව එක් මාත්‍රාවක් පමණක් ලබාගත් අයද සිටිනවා. ඔවුන් අද කනගාටු වෙනවා විවිධ හේතු නිසා ඔවුන්ට එන්නත ලබා ගැනීමට නොහැකි වුණා කියලා. නමුත් අපි කෝවිඩ් වැලඳුන තරුණ පිරිස් දැඩි සත්කාර ඒකකවල දකින්නේ නෑ. බොහෝ තරුණ පිරිස් එන්නත් මාත්‍රා 02ම ලබාගෙන තිබෙනවා" යනුවෙනි.