ජාතික රෝහලට නවීනතම කැත් ලැබ් දෙකක්
ශ්‍රී ලංකා ජාතික රෝහලේ අළුතින් පිහිටුවන ලද හෘද කැතීටර්කරණ රසායනාගාර සංකීර්ණය (Cardiac Catheterization Laboratory Complex) සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය (Renovated Cardiology Day Case Unit) නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් මෙම සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කෙරෙන අතර, ඒ අනුව පසුගිය 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාරය රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි. ඊයේ (30) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාර ඒකකය ද රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි.
මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලසයි.
මෙම හෘද කැතීටකරණ ඒකක (Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීම ඇතුළු රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙල තුළ මෙරට රෝහල් පද්ධතියේ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරමින් වඩාත් පහසු, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චයන් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් රෝගී ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
