ජාතික ජනබලවේගය මගින් ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර පමණක් එල්ල කළ බවත් බැටන් ප්‍රහාර එල්ල නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
“ඊයේ දිනය තුළ කොළඹ නගරයට ජාතික ජන බලවේගයේන පිරිසක් පැමිණෙන බවට හා උද්ඝෝෂණයක් පවත්වන බවට තොරතුරු තිබුණා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ නියෝගයක් ලබාගත්තා. ඒ වගේම මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් අධිකරණ නියෝගයක් ලබා ගත්තා.
ඒ තත්ත්වය යටතේ විහාර මහා දේවි උද්‍යානය අසල හා ලිප්ටන් වටරවුමේ රැස්වී තිබුණා. ඒ අය යූනියන් පෙදෙසට ගමන් කරමින් සිටියා. පොලීසිය කිව්වා පෙළපාළියක් යන්න දෙන්න බෑ කියලා. පොලීසියට බාධා කරමින් පෙළපාලියක් යන්න හදපු නිසා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අනුව එම පෙළපාලිය පාලනය කළා.
බැටන් ප්‍රහාර එල්ල කලේ නෑ. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පුද්ගලයන් 29ක් ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 5ක් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ගන්නවා”