- රෝහල්ගතවූ ඇතැම් රෝගීන් ගෙවීම් සිදු කොට නැහැ
- විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නැහැ.
- රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට.
- මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින් කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවත් මෙහිදී ඇතැම් රෝගීන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගත්තද ඊට අදාළ ගෙවීම් සිදුකොට නොමැති බව නිරීක්ෂණය වන බවත් එසේම ඇතැම් රෝගීන්ගෙන් අයකර ගතයුතු මුදල් කපා හැර ඇති බවත් නිරීක්ෂණය වන බවද කෝප් කමිටුව පෙන්වා දෙන ලදි.
එසේම විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නොමැති බවද කෝප් කාරක සභාව පෙන්වා දෙන ලදි. අදාළ විශේෂඥ සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ රෝහලෙන් ලබාගෙන ඇති බවත්, එම විශේෂඥ සේවා වෙනුවෙන් 2023 වර්ෂයේ මුලු කාර්ය මණ්ඩලය වෙත ගෙවූ වෘත්තීය ගාස්තුව රු. මිලියන 600 පමණ බවත් මෙහිදී කමිටුව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ පූජ්‍ය පක්ෂය සහ රෝහල් සේවකයන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බවයි. එසේම විශ්‍රාම ගිය රෝහල් සේවකයන් වෙනුවෙන්ද රුපියල් 4000 සීමාවකට යටත්ව ප්‍රතිකාර ලබාදෙන බවයි.
මේ අනුව කඩිනමින් මෙම අවිධිමත් තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළාය.
තවද මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බවද මෙහිදී කෝප් කාරක සභාව අනාවරණය කළ අතර එම පත්වීම් වෙනුවෙන් ලබාදුන් 35% වැටුප් දීමනා වැඩිවීම ද නීත්‍යානුකූල නොවන බවද පෙන්වා දුන්නේය. එසේම මෙම නීත්‍යානුකූල නොවන පත්වීම් වෙනුවෙන් වැඩිවීමක් සහිතව වැටුප් ගෙවූවද නීත්‍යානුකූලව පත්කොට ඇති “ලොන්ඩරි පරීක්ෂක” තනතුරක් වෙනුවෙන් වැටුප් ගෙවා නොමැති බවද මෙහිදී පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මේ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට වගකීම් පැහැරහැර ඇති සියලු නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.
තවද අනීතික ගෙවීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බව නිරීක්ෂණය වන බවත්, ආයතනයේ සේවය කරන සේවක සංඛ්‍යාව, ඔවුන්ට පත්වීම් ලබාදීම සහ වැටුප් ගෙවීම කිසිම ආකාරයකින් අධීක්ෂණය කොට නැති බව නිරීක්ෂණය වන බවත්, මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අනුව සමස්ථ ක්‍රියාවලිය සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කොට මාස 2ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කාරක සභාව නිර්දේශ කරන ලදි.