ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් වංචනිකව මුදල් ලබාගත් අඹු සැමි යුවළක් ඊයේ (04දා) අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.
ෙරැකියා ලබාදෙන බව පවසා ලබාගත් සියලු මුදල් ඔක්තෝම්බර් මස 18වැනිදාට පෙර යළි හිමිකරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වීම හේතුවෙන් අදාළ අඹු සැමි යුවළ මෙලෙස ඇප මත මුදාහැරිණි.
ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ලබාගන්නා බව පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 5ක් ලැබී තිබිණි.
ඒ අනුව එම වංචාවට සම්බන්ධ අදාළ අඹු සැමි යුවළ අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත්, ඔවුන් විමර්ශන නිලධාරීන් මගහැර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
එබැවින් විමර්ශන කණ්ඩායම් ඉතා සූක්ෂම අයුරින් විමර්ශනය මෙහෙයවා මීට සම්බන්ධ කාන්තාව ඇඹිලිපිටිය නගරයේදී අත්අඩංගුවට ගත් පසු ඇයගේ සැමියාද නිලධාරීන්ට භාර වී ඇත. මෙම නඩුව ඔක්තෝබර් මස 20වැනිදා නැවත කැඳවීමට නියමිතය.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් වන සරත් විමලවීර, බුද්ධික විදානපතිරණ ඇතුළු පිරිසක් මෙම විමර්ශනය සිදුකළහ.