ලංකික පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම් දෙක ඔක්තෝබර් 17 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විණිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ 31 දෙනෙකු නම් කර ඇත.
මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව පසුගිය ජනවාරි 27 සහ ජුනි 02 වැනි දිනවල අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ගෙන ඇතැයිද සඳහන් කරති.
මෙම කටයුතුවලට අදාළව 2022 වසරේදී ශ්‍රී ලංකා රජය” ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වර්ථමාන අමාත්‍ය මණ්ඩලය තීන්දු දෙක ගෙන ඇති බවත් ශ්‍රී ලංකා රජය, ඉන්දියානු රජය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකිකයින්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වීම් තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවට චෝදනා කරන පෙත්සම්කරුවෝ ශ්‍රී ලංකිකයින්ට ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සකස් කරමින් පවතිද්දී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව එම කටයුතු ඉන්දියානු සමාගමකට පැවරීමට රජය ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවද පෙන්වා දෙති.
මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම තූළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බව සඳහන් කරන පෙත්සම්කරුවෝ මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ඉන්දියාව සමග ඇතිකරගත් මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාල කැබිනට් තීන්දු බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නැතැයි පැවසීයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා කරුණු දක්වමින් පෙත්සම් සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් 17 වැනිදා කැඳවීමට නියම කළේය.