රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජනවරමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීමට බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවරම ලබා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ නැති කාරණා ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ අද දින (01) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"දැනට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කිරීමට ඉතිරි වෙලා තිබෙන්නේ ජාතික ඉඩම් කොමිසම පිහිටුවීමත් පලාත් පොලිස් කොමිෂන් සභා 9ක් පිහිටුවීමත් විතරයි. ජනපති රනිල් නැති බලයක් මවා ගෙන 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. රනිල්ට බලයක් නෑ කියන එකේ තාර්කික පසුබිම මොකක්ද? ජනතාව සහ ජනාධිපති අතර තිබෙන ගිවිසුම තමයි ජනපතිවරණයට දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය. ගෝඨාභය ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න බැඳිලා හිටියා. ඒ වෙනුවට බැසිල් දැක්ම ක්‍රියාත්මක කරන්න ගිහින් ජනතාව ඔහුව එලවා ගත්තා.
අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති කෙනෙක් ඉවත් වූ විට අතුරු මැතිවරණයක් පවත්වා ඉන් ජනාධිපතිවරයෙක් තේරී පත්වන්නේ නැහැ. ඉදිරි කාලය සඳහා පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නේ. එහෙම නම් දැන් ජනාධිපතිවරයාට ජනවරමක් විදියට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ ජනවරමයි. ඒ ජනවරම ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම තමයි තුමාට පැවරී තිබෙන වගකීම වෙන්නේ.
එතුමාට සෞභාග්‍යය දැක්මේ නැති වෙනස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙලා තියනව නම් ඊ ලඟ ජනාධිපතිවරණය දිනලා එන්න ඕනෑ.
සෞභාග්‍යයේ දැක්මේ 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා නෑ. ඒකෙ තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් ඔය 13 තිබෙන ව්‍යවස්ථාව අහෝසි කරනවා කියලා. ඒ ජනවරම අනුව තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කමිටුව පත් කරලා නව ව්‍යවස්ථාවක් හැදුවේ. ඔන්න ඒක ජනාධිපති ලේකම් කාර්යාලයේ ලාච්චුවක් ඇති. ඒ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා මිස 13 ක්‍රියාත්මක කරන්න එතුමාට කවුරුවත් බලයක් දීලා නෑ."