ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉදිරිපත් කරන යෝජනාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවක් නොවන බවත් එය රනිල් - රාජපක්ෂ ආණ්ඩුවට එක්විමට කරන ආරාධනාවක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.එවැනි ආණ්ඩුවකට තම පක්ෂය එක් නොවන බවද ඔහු පැවැසීය.
"සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවම් එයට සම්බන්ධ වෙන සියලුම පක්ෂ වල සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන. ඒ නිසයි අපි යෝජනා කළේ අනාගත දේශපාල අරමුණ තිබෙන්න බෑ කියලා.
ඊට පස්සේ අපි මාස හයක කාලයක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත්කරලා ඉන් අනතුරුව ජනතාවට කැමති ආණ්ඩුවක් පත්කර ගන්න අවස්ථාව දෙමු කියන එකයි අපි යෝජනා කළේ.
දැන් රනිල් ජනපති වෙලා, දිනේෂ් අගමැති වෙලා, පොහොට්ටුවේ කඳවුරෙන් ආණ්ඩුවක් හදලා දැන් එන්න කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවකට. එතකොට රනිල් - රාජපක්ෂ ආණ්ඩුවේ පංගු කරුවෙක් වෙනවා විනා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නෑ.
පක්ෂ ඔක්කොම එක්වුණ කැබිනට් මණ්ඩලයක් සහිතව කෙටි කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළ හැකියි. නමුත් ජනපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාලය කියන්නේ නෑ.
මේ පාර්ලිමේන්තුවට තව අවුරුදු තුනකට සමාන කාලයක් තියෙනවා. ඒ කාලයම පාර්ලිමේන්තුව කරගෙන යන්න හදනවා. ඒ යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි එක් වෙන්නෙ නෑ.
නිවැරදි, සෑම පක්ෂයකමට අයිතියක් තිබෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපි යෝජනා කළේ. රනිල් - රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෙක් වෙන ආණ්ඩුවකට අපි එක්වෙන්නේ නෑ.
ඔවුන් කෙටිකාලින වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි නම් එයට අපේ අදහස් ඉදිරිපත් කර ඉදිරියට යන්න පුළුවන්"