හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයේ තවදුරටත් සිටිය යුතු බවට වූ ජනාධිපතිවරයාගේ ස්ථාවරය හේතුවෙන් ජවිපෙ නායකයන් වියරු වැටී ඇති බවත්, ඒ අනුව අපහාස කර අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වන තැනට 'තල්ලු කිරීමට' ඔවුන් උත්සාහ දරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක, උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
එම පක්ෂ මූලස්ථානයේදී අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ කරුණු හයක් මූලික කරගනිමින් හරිනි අමරසූරිය තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටිය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවරය වී ඇති බවයි.
"වසන්ත ඇමතිතුමා අගමැතිතුමිය ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත් කලේ ආණ්ඩුව ඇතුලේ තිබෙන මාලිමා - ජවිපෙ ගැටුම ප්‍රදර්ශනය කරමින්.ඔබට මතක ඇති “ළඟදීම ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට මැයි මාසයේ දී බිමල් ඇමතිතුමා ප්‍රකාශ කළා.ඇත්තටම අද ජවිපෙට ඕනැ ඇමති බිමල් අගමැති කරලා ටිල්වන් සිල්වා ලේකම්තුමා ඇතුළු පැලවත්තේ බලය ආණ්ඩුව තුළ තහවුරු කර ගන්න. නමුත් ජනාධිපතිතුමා හේතු හයක් ඉදිරිපත් කරලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එක - ආණ්ඩුවේ ඡන්ද බැංකුවේ ලොකුම කුට්ටිය වන මාලිමා ඡන්ද කුට්ටියේ නායිකාව අගමැතිනිය වීම. දෙක - බටහිර තානාපති කාර්යාලවල ආණ්ඩුව තුළ නියෝජනය අගමැතිනිය වීම. තුන - ආණ්ඩුව තුළ ප්‍රභූ පන්තියේ නියෝජනය අගමැතිනිය වීම.
හතර - ආණ්ඩුව තුළ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජනය අගමැතිනිය වීම. පහ - සමරිසි ප්‍රජාවේ නියෝජනය අගමැතිනිය වීම. හය - විද්වත් සහ වෘත්තීය නියෝජනය අගමැතිනිය වීම.ජනාධිපති දැනටමත් ජවිපෙන් සිටින නිසා අනෙකුත් සියලුම බලවේග නියෝජනය කරන්න හරිනි මැතිනිය අගමැති තනතුරේ සිටිය යුතු බවයි ජනාධිපතිතුමාගේ මතය වෙලා තිබෙන්නේ. ජනාධිපතිගේ ස්ථාවරය නිසා වියරු වැටුණු ජවිපෙ නායකයන් අගමැතිතුමියට අපහාස කරලා එතුමිය ඉල්ලා අස්වෙන තැනට තල්ලු කරන්න උත්සාහ කරන බවයි අපට පේන්නේ.
එදා අගමැතිතුමිය ඉදිරිපත් කළ ඉලක්කම් වැරදියි කියලා වසන්ත ඇමතිතුමා කිව්වාට නිවැරදි තොරතුරු මොනවාද කියා එතුමා කිව්වේ නෑ. ඒ වගේම වැරදි තොරතුරු දුන්නු අයට දඬුවම් කළ බව කිව්වේ නෑ. ඒ නිසා හුදු අගමැතිතුමියට අපහාස කිරීමේ චේතනාවෙන්ම මේ ප්‍රකාශය කළා කියලා අපට සැක හිතෙනවා. ඉලක්කමක් එහෙට මෙහෙට වුණා කියමු. ඒත් මේක විදේශීය ආයෝජනයක් බවටත් ලංකාණ්ඩුව හෝ චිචී පුතා හෝ ඒකට ආයෝජනය කර නොමැති බවටත් අගමැතිනිය කළ ප්‍රකාශයේ වරදක් නෑනෙ. මාලිමා බොරුව පත්තු වෙන්නේ එතැනින්නෙ. අරගල සමයේ දී වගේම මැතිවරණ වේදිකාවේත් කිව්වේ ආණ්ඩුවේ මුදල් ඩොලර් මිලියන 380ක් වැය කරලා චචී රොකට් එකක් උඩු ගුවනට යැව්වා.දැන් ඒක හොයා ගන්නවත් නෑ කියලා.
වැඩේ වැරදුණාකියලා තේරුණාම එක බොරුවක් වසා ගන්න තව බොරු ගණනාවක් කියනවා. සුප්‍රීම් සැට් නාලිකාව පාඩු පිට දුවනවාලු.ඒක බොරුවක්. හරි පාඩු පිට දුවනවා කියමුකෝ. පෞද්ගලික ආයෝජනයක් පාඩු ලැබුවත් ලාභ ලැබුවත් ආණ්ඩුවට මොකෝ. සුප්‍රීම් සැට් නාලිකාවට අභ්‍යවකාශයේ ලංකාවට වෙන් කරපු අවකාශය දීලා තිබෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවලු. එතකොට 2006 දී ජවිපෙට ගුවන් විදුලි සංඛ්‍යාත ලබා දුන්නේ ටෙන්ඩර් කැඳවලා ද ? තෙල් නලයක් එළන එක මාලිමා ආණ්ඩුව ඉන්දියාවට දුන්නේ ටෙන්ඩර් කැඳවලාද? තෙල් පිරිපහදුවක් ඉදි කරන්න චීනයට දුන්නේ ටෙන්ඩර් කැඳවලා ද වසන්ත සමරසිංහ ඇමතිතුමනි, නානවා කියලා ඔච්චරටම නාන්න එපා ජල සන්නිය හැදේවි"