ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙක් ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අද (02දා) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එළැඹෙන 05 දා තෙක් සෞදි අරාබියේ සංචාරය කිරීමට නිමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේදී මෙම කරුණු අණාවරණය විය.
මෙම හමුවේ දී, ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය ඇතුළුව වර්තමාන ආර්ථික තත්ත්වය සහ එමඟින් ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්රයන් කෙරෙහි ඇති කෙරෙන ඍණාත්මක බලපෑම පිළිබඳව විස්තර කළේය.
සෞදි අරාබි රාජධානිය සමඟ බලශක්ති සහයෝගීතාව සඳහා මාර්ග සලසා ගැනීම අතිශයින් හදිසි කාරණයක් බවද අමාත්‍යවරයා පැවැසිය.
එසේම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සෞදියේ නිරතවන සංචාරය සඳහා පහසුකම් සලසන ලෙසද කාර්ය භාර නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා - සවුදි අරාබියානු ද්විපාර්ශ්වික සබඳතාව හා බැඳුණු වැදගත්කම පිළිබඳව අවධාරණය කළ සවුදි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා, මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට සහතික විය.