එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නමින් නම්කොට තිබූ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ එම නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හෙලා දකින බව මහනුවර හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය.
ඩී.එස්.සේනානායක පුස්තකාලය හා ශ්‍රවණාගාරය ලෙස නම්කර තිබූ ගොඩනැගිල්ල 2004 වසරේ දී ගිනි ගැනීමෙන් පසු අලුතෙන් ඉදිකළ ශ්‍රවණාගාරය කරළිය ලෙස නම්කර නම් කොට තිබෙන බවත් ඩී.එස්.සේනානායක නම ඉන් හැලී ගියේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතුව තිබෙන බවද ඊට විරෝධය පා නගර සභාවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනකු එහි විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ බවද මන්ත්‍රීවරයා පැවසීය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) එම ශ්‍රවණාගාරය විවෘත කරන අවස්ථාවේදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අදහස් පල කළේය .
එහිදී විපුල රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මැතිවරණ නොපවත්වා මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතනය මුළුමනින්ම නිලධාරි පාලනයට යටත් කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සභා සම්මුතියක් යටතේ සභාවේ මුදල් රුපියල් කෝටි 70ක් වියදම් කොට මහනුවර නගරයේ ඉදිකළ මහනුවර මහනගර සභාවට අයත් සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයාට තම පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක නාමය නගර සභා රංග කලා මධ්‍යස්ථානයෙන් හැලී යාම ගැටළුවක් නොවුණත් තමන් ඇතුළු පිරිසට එය ගැටළුවක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය . මෙම අවස්ථාවට මහනුවර මහ නගර සභාවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි විය .

