ජනතා මුදල් බැනර් හා කටවුට් සඳහා යට නොකරන්න
ජනතා මුදල් බැනර් සහ කටවුට් වෙනුවෙන් නාස්තිකාර ලෙස වියදම් කිරීම වෙනුවට දේශපාලඥයන් විසින් එම මුදල් ජනතා සුභසාධනය වෙනුවෙන් යෙදවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේ සිටි පාලකයන් රාජ්‍ය ආයතනවල මුදල් තම තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපයක් ප්‍රවර්ධනය කිරීම හා ප්රචාරක වැඩසටහන් වෙනුවෙන් භාවිත කළ අතර, ඒ වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන ගණනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එවන් පසුබිමක් තුළ පසුගිය ජනාධිපතිවරණයේදී බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය වෙනුවෙන් පොදු අපේක්ෂකයා වූ තමා වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබා දුන් මුදල් වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වන අරමුදලක් පිහිටුවීමට යොමු කළ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නිරෝගා නමින් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හඳුන්වාදුන් නව ලොතරැයිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (24දා) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
ඇතැම් පුද්ගලයන් විනෝදාශ්වාදය වෙනුවෙන් සමාජශාලා සහ වෙනත් ස්ථානවලදී එක් රාත්‍රියකදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරනු දක්නට හැකි බවත්, එම මුදල් මෙරට දිළිඳු පුරවැසියන්ගේ හා වකුගඩු රෝගීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එසේම මෙරට වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වකුගඩු නිවාරණ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය පිහිටුවීම, ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ඇතිව නව අරමුදලක් පිහිටුවීම ඇතුළු රජය මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

