අද වනවිට රටේ ජනතාව තීරණාත්මක අවස්ථාවක සිටින බවත් මෙම තත්ත්වයට විසදුම් ලබා දීම පිනිස මේ වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලනය , ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතාගේ සංවිධානත්වයෙන් නගර සභා යක්කල උප කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී නියෝජ්‍ය නායකවරයා මේ බව සදහන් කළේය.
මෙම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , ඉදිරි මැතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වියයුතු බවට ඉදිරිපත් කරනලද යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගැණින.
" මෙම වසර මැතිවරණ වසරක් වශයෙන් හැදින්විය හැකියි. ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණයටත් ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණයටත් මුහුණ දීමට සිදු විය හැකි බැවින් අපි ඊට සූදානම් වීමට අවශ්‍යයි. මේක තීරණාත්මක වසරක් ලෙස අපි සලකන්නේ මේ රටේ අනාගතය තීරණය කිරීමක් ලෙසයි.
අපි කවුරුත් දන්නව වසර දෙකකට පෙර රට තිබුනේ කොතැනද ? ඔබ අපි සියලු දෙනාම හිටියෙ පෝලිම්වල. පෝලිම්වල සිටියදී ඇතැමුන් මිය ගියා. භාණ්ඩාගාරයේ මුදල් තිබුනේ නැහැ. බංකොලොත් භාවයට පත්ව තිබූ මේ රට බාරගැනීමට නායකයෙකු සොයමින් සිටි අවස්ථාවේ, අද විපක්ෂයේ සිට කෑගහන අය එදා පැනල ගියා. අපේ නායකයා විතරයි ඉදිරිපත් උනේ රට බාර ගෙන ගොඩ ගැනීමට. නායකවරයාගේ ගේ පුලුස්සා දමමින් එතුමා බය කිරීමට අදහස් කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් , ජනතාව ගැන සිතා ඔහුට විරුද්ධකම් කළ ආණ්ඩු පක්ෂයේ අය සමග එක්ව ඒ වගකීම බාර ගත්ත. එලෙස වගකීම බාර ගත් නිසා තමයි අද අපට බංකොලොත් භාවයෙන් මිදී ජනතාවට යම් සහනයක් ලැබී තිබෙන්නෙ.
රනිල් වික්‍රමසිංහ කියන්නේ එඩිතර නායකයෙක්. තීන්දු තීරණ ගන්න බිය නැහැ. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න බිය වන්නේ නැහැ. මෙවැනි නායකයෙකු තමයි අපිට අවශ්‍ය. අද රට යම් ස්ථාවර භාවයකට එනවිට , දැන් විපක්ෂයේ අය කෑගහනව අපි හරියට කරල පෙන්වන්නම් කියල. එදා අභියෝගවලට මුහුණ නොදී පැනගිය අය තමයි අද මෙහෙම කෑ ගහන්නෙ.
නමුත් මේ රට හදන්න නම් අපි සියලු දෙනාම එක්විය යුතුයි. බෙදී රට හැදිය නොහැකියි. අද ආර්ථික ගැටළු තිබෙනව.ජනතාවට ජීවන බරක් තිබෙනව. මෙය අපිත් , ජනාධිපතිවරයාත් හොදින් දන්නව. නමුත් මේ රට හරි තැනකට ගෙන එන්නට , ජීවන බර අඩු කිරීමට , ජනතාවට සහන ලබා දෙන්නට හැකි සැලැස්ම ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. බංකොලොත්වූ රටක් එක්වරම ගොඩ ගෙන ජනතාවට සහන දෙන්න අමාරුයි. ටික කාලයක් ගත වෙනව. ඉදිරියේදී එම සහන සැලසෙනව.
අප පක්ෂයට හොද සැලැස්මක් තිබෙනව. ඉදිරි වසර පහ රනිල් වික්‍රමසිංහ මහතාගෙ පාලනය යටතේ රටට ජනතාවට ලැබෙන සහන දැකගත හැකි වේවි. මෙතුමාට පුළුල් දැක්මක් සහ හැකියාවක් තිබෙනව. මේ රටට පත්වූ නායකයින් වැඩක් වූයේ නැහැ. හොද පළපුරුද්දක් ඇති අප නායකවරයාට රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම කළ හැකි බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති පුටුවේ තැබීමට අපි එක්ව කටයුතු කරමු."