ආණ්ඩුව පෙට්රල් මිල ඉහළ දැමීමට කටයුතු කළද, ජනතාව ගැන සිතා ත්රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට කටයුතු නොකරන බව සමස්ත ලංකා ත්රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.
ඊයේ (31දා) රාත්රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 348කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 375ක් වී තිබේ.
මේ වනවිට පළමු කිලෝමීටර්යට රුපියල් 100 හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80 බැගින් අය කරන බවත්, එහෙත් ඇතැම් ත්රිරෝද රථ හිමියන් පළමු කිලෝමීටරයේ සිට සියලුම කිලෝමීටර්වලට රුපියල් 100 බැගින් අය කරන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
ත්රිරෝද රථ සේවාවට ගාස්තු නියාමනයක් ඇති කිරීමට පාලකයන්ට හා බලධාරීන්ට නොහැකි වීම නිසා ගාස්තු අය කිරීමේදී විවිධ විෂමතාවන් ඇති වී තිබෙන බවත්, මේ නිසා ත්රිරෝද රථ නියාමනයට අදාළ කටයුතු කඩිනමින් සිදුකළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බවත්, එහෙත් රටටම බලපාන ආකාරයට ගාස්තු නියාමනයක් ඇති කළහොත් මගී ජනතාවත් ත්රිරෝද රථ කර්මාන්තයත් ආරක්ෂා කර ගත හැකි බවත් සභාපතිවරයා පවසා සිටියේය.