මේ රට ගොඩගන්න නම් දේශපාලනඥයා වගකීම සහ වගවීම දෙකම තියෙන පාරිශුද්ධ පුද්ගලයෙක් විය යුතු බවත්, දැන් ජනතාව අපේක්ෂා කරන්නේ, සාමකාමී බල හුවමාරුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය .
ඒ මහතා මේ අදහස් පලකලේ අද (05දා) වාද්දුවේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
ආණ්ඩුව උත්සහ කරනවා තැන් තැන් වල ප්රචණ්ඩත්වය නිර්මාණය කරන්න. නමුත් තරුණ කණ්ඩායම් බොහොම වගකීමෙන් ඒ ගැන අවබෝධයෙන් ඉන්නේ.
දැනට රටේ ඇතිව තිබෙන අර්බුදය සියලු පොදු ජනතාවගේ ප්‍රශ්නයක් . සිදුකරන අරගලය පොදු ජනතාව මුල්කර ගනිමින් කරන අරගලයක්. අපි රටක් විදියට වැටිල තියෙන්නෙ. තවත් වට්ටන්න දෙයක් නෑ , මේ රට දැන් අඩියටම වැටිල. මුදල් ඇමති කිව්වා විදෙස් සංචිත ඩොලර් මිලියන 50 ක් වත් නැහැ කියලා. ඒ තියන මුදලින් තෙල් නැවක් වත් ගන්න පුළුවන්කමක් නැහැ.
ලක්ෂ විසි හයකට වඩා විදේශ විදේශ රැකියාවල නිරත වෙලා ඉන්නවා. තවත් ලක්ෂයකට වැඩියෙන් අපි අපේ තේ කර්මාන්තය ඇතුළු කර්මාන්ත කර්මාන්තවල නියැළිලා ඉන්නවා. ඇගළුම් කර්මාන්තයේ විශාල පිරිසක් නියැලී ඉන්නවා. එහෙනම් මේ ඩොලර් මිලියන 50 ක් ඉතුරු වුණා කියන්නේ, ඉතුරු සල්ලි නිකංම වාෂ්ප වුනා නොවෙයි. රට මේ තත්වයට වට්ටන්නට දේශපාලනය විසින් කරන ලද හොරකම දුෂණය වංචාව නාස්තිය විශාල වැඩ කොටසක් කරලා තියෙනවා.
අද වන විට තරුණ කණ්ඩායම් පාරට බැහැලා කියන්නේ ගෝ හෝම් කියලා නිකං නොවේ. හොරා කාපු අය යන්න ඕන.හොරාකාපුව දෙන්න ඕන කියලා .
රටේ ජනාධිපති වරයාට සහ ආණ්ඩුව යන්න කියලා ජනතාව කියනවනම්, ඒකට අවස්ථාවක් දෙන එක තමයි මේ පුටු අල්ලගෙන ඉන්න අයගේ යුතුකම. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සාමකාමී බල හුවමාරුවක්.ජනතාව ප්‍රචණ්ඩත්වයට හුරු වෙන්නෙ නෑ.
විශේෂයෙන්ම පසුගිය අවුරුදු 40 ක කාලය තුළ ඒ අය රට පාලනය කරද්දී හොරාකාපු නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. පිළිකා රෝහලේ ඖෂධ නැතුව කෙනෙක් මියයන්නෙත්, දරුවෙකුට කිරි පිටි උගුරක් දෙන්නත් බැරි වෙලා තියෙන්නෙත්, විදුලිය නැතුව දුක් විඳින්නෙත්, ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල දුක් විඳින්නෙත් හොරාකාපු එකේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා මේක කිසිසේත්ම සමාව දිය හැකි වරදක් නොවෙයි. දේශපාලඥයා වගකීම සහ වගවීම තියන පාරිශුද්ධ පුද්ගලයකු වුව හොත් මේ ගැටලු ඇති වෙන්නේ නෑ යනුවෙන් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය
