ආණ්ඩුව ඉවත් නොවන නිසා ආණ්ඩුව ඉවත් කර නව ආණ්ඩුවක් සෑදීමට තමන්ට තමන්ද පාරට පිවිසි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ (01) පොලොන්නරුවේ පැවති විරෝධතා පාගමනකට සහ රැළියකට සහභාගී වෙමිනි.
“පොලොන්නරුවේ විතරක් නෙමෙයි මුළු රටේම ගොවීන්,කම්කරුවන්,රාජ්‍ය සේවකයන් විතරක් නෙමෙයි ඉහළම ධනවතුන් පවා පාරට බැහැලා කියන්නේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. අද රට වැටිලා තියෙන මහා අගාධයෙන් ගොඩ ගන්න අද ජනතාව පාරට බෑහැලා තියෙනවා. ඒ පොදු ජන හඬට ජනතාවගේ හඬ,ජනතා දේශප්‍රේමීන්ගේ හඩයි.
ඒ සියලු ජනතා සංවිධානවලට මම ආශිර්වාද කරනවා.ඒ විතරක් නෙමෙයි ජනතා හඬට ආණ්ඩුව ඇහුම් කන් දිය යුතු වෙනවා. රාජපක්ෂ මහත්තුරු බාර ගත්තේ ඉතාම හොඳ රටක්. නමුත් අද ගෙවල්වල තියෙන ආහාර ප්රශ්නය, බඩු මිල ප්රශ්නය, තෙල්, ගෑස්, විදුලිය ප්‍රශ්න, උහුලන්නට බැරි බඩු මිල, භාණ්ඩ හිගය, ආහාර හිගය ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික, වල් නාශක ටික, කෘමි නාශක ටික මේ කිසිම දෙයක් නෑ. ඒ නිසා අද මුළු රටම මාහා ඛේදවාචකයකට අභාග්‍යකට මුහුණ දීලා තිබෙනවා.
මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවක අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත අරගෙන තමයි අද මමත් පාරට බැස්සේ. රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාවෙන් සිටින විට අපට පුළුවන්කමක් නෑ ගෙදරට වෙලා ඉන්න. ආණ්ඩු පක්ෂයේ ඉදලා ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසයි.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නයි. ඒ අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත් ආණ්ඩුවක් විය යුතුයි. විශේෂයෙන් ම තරුණ පිරිස ගෝල් ෆේස්වලට ඇවිල්ලා කරනු ලබන විරෝධයට අද මුළු රටේම ජනතාවගේ ආශිර්වාදය තිබෙනවා.ඒ ආශිර්වාදයට අපිත් එක්විය යුතුයි.ඒ තරුණ පිරිස්වලට අවශ්‍ය හොඳ රටක් හදන්න මේ රටේ පාලනය වෙනස් විය යුතුයි කියන කාරණය ට අපිත් සහාය දිය යුතුයි.”
