ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට දැනටමත් සාකච්ඡා කරමින් පවතින බවත්, පක්ෂයක් විදිහට ඒ වෙනුවෙන් මැදිහත්ව තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
“එක්ව නැගිටිමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ නාවලපිටිය ආසන සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේදී අද (16) පැවැත්විණි. එහෙදී ජනහමුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කොට තිබු මෙම රැස්වීමට එක් වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
“විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය පිළිබඳව අපි සැළකිලිමත් වන්න ඕන.ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැළැකිල්ලක් යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා. කරලා තියෙනවා. අපි එහෙම පක්ෂයක් විදිහට මැදිහත්ව තියෙනවා.
එකමුතුව මේ ප්‍රශ්ණ විසදා ගන්න අපිට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහාය දෙනවා. මුලින් නතර වෙලා තිබුණු තැනින් පියවරක් හෝ ඉදිරියට යමු. ඉදිරියට යන්න ඒ සඳහා එක්ව වැඩ කරමු. අනෙක් ඔක්කොම දෙවනුව අපිට විසඳා ගන්න පුළුවන්.
කෘෂිකර්මාන්තය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, තේ රබර් කර්මාන්තය වේවා, වෙනත් කර්මාන්ත වේවා, ඔීනෑම වෘත්තියක් වේවා, විදේශ ගත ශ්‍රමිකයන් වේවා, දේශපාලඥයන් වේවා මේ සියලුම දෙනාට අද අවශ්‍යතාවයක් තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අපි එකට පෙළ ගැසෙන්න ඕනෑ.
තීන්දු කොතරම් දුෂ්කරතාවුවත් ජනතාවට වාසි සහගත ලෙස තබා ගන්න අපි හැකි උනයි කියලා අපි මතක් කරනවා. මේක ජනතාව දන්නවා. අපි අද නාවලපිටියට ඇවිත් තමුන්නාන්සේලා හමුවෙලා අපි එක්ක නැගිටිමු කියන යෝජනාව මුලු රටටම ඇහෙන්න කියනවා. මේ රට ගොඩ නගන්න අපි එකට පෙළ ගැසෙන්න ඕනෑ”
ශාන් හුලංනුගේ