ජනගහනයෙන් සියයට 30ක්ම තමන්ට දියවැඩියාව බව දන්නේ නෑ
සෑම වසරකට වරක් දියවැඩියා රෝගීන් ග්ලුකෝමා අක්ෂි පරීක්ෂාවත්, වයස අවුරුදු 30 ඉක්ම වූ පුද්ගලයින් දියවැඩියාව පරීක්ෂාවත් සිදුකර ගත යුතූ බව අවධාරණය කෙරේ.
අද (14) දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව, ජාතික අක්ෂි රෝහල සහ ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව සංවිධානය කරනු ලැබූ ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී ඊයේ (13) පැවැත්විණි.
"දියවැඩියාවෙන් ඇතිවන අන්ධභාවය වළක්වා ගනිමු" (Let' Prevent Blindness Caused by Diabetes) යන තේමාව යටතේ පැවැති මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී දියවැඩියා අක්ෂි ආබාධ මුල් අවධියේදීම හඳුනාගැනීමේ අත්‍යවශ්‍යතාවය සහ නිසි වේලාවට අක්ෂි පරීක්ෂාවන් සිදුකිරීමෙන් දියවැඩියා අන්ධභාවය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් කෙරුණ අතර, සෑම වසරකට වරක් දියවැඩියා රෝගීන් ග්ලුකෝමා අක්ෂි පරීක්ෂාවත්, වයස අවුරුදු 30 ඉක්ම වූ පුද්ගලයින් දියවැඩියාව පරීක්ෂාවත් සිදුකර ගත යුතූ බව ද අවධාරණය කෙරිණි.
එමෙන්ම පවුලේ අයෙකුට දියවැඩියාව තිබේ නම්, ස්ථූලතාවයෙන් පෙළේ නම්, හෝ ගර්භණී සමයේ දියවැඩියාව වැළඳී තිබුණේ නම් මාස 6කට හෝ වසරකට වරක් දියවැඩියාව පරීක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරුණි.
දියවැඩියාව නිසි ලෙස පාලනය කිරීම තුළින් ගුණාත්මක ජීවිතයක් ගත කරන්නේ කෙසේද?" යන්න පිළිබඳව ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය,
වෛද්‍ය රවී ජයවර්ධන මහතා සහ "දියවැඩියා රෝගීන්ගේ පෙනීම ආරක්ෂා කර ගැනීම සඳහා මුල් අවධියේ අක්ෂි පරීක්ෂාව සහ මූලික පියවර" පිළිබඳව ජාතික අක්ෂි රෝහලේ
විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, වෛද්‍ය දීපානි වෙිවැල්වල මහත්මියත් මෙහිදී දේශණ පවත්වන ලදි.
එමෙන්ම "දියවැඩියා දෘෂ්ටිවිතාන රෝගය (Diabetic Retinopathy) පාලනය කිරීම සහ පෙනීම සුරැකීමේ නවීන ප්රවේශයන්" පිළිබඳව ශ්‍රී ලංකා විට්රියෝ රෙටිනා ( Sri Lanka Vireo Retina) විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. ශ්රීහරනාදන් මහතා සහ "දියවැඩියා අන්ධභාවය වැළැක්වීම සඳහා වන දැක්ම" පිළිබඳව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය කේ. ආර්. දයාවංශ මහතා ද මෙහිදී දේශණ පවත්වන ලදි.
ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය,වෛද්‍ය රවී ජයවර්ධන මහතා මෙහිදී පැවසූවේ මෙරට 2018-2019 වසර වල සිදු කරන ලද පර්යේෂණ දත්තවලට අනුව, වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% කට දියවැඩියාව වැළඳී ඇති බව තහවුරු වී තිබෙන බවයි. ජනගහනයෙන් 30% ක් පමණ පිරිසක් තමන්ට දියවැඩියාව ඇති බව හෝ තමන් පූර්ව දියවැඩියා (Pre-diabetes) අවධියේ පසුවන බව නොදැන සිටීම බරපතල ගැටලුවක් බව ද අවධාරණය කෙරුණි.
නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම නිසා ශරීරයේ අභ්‍යන්තර අවයවවලට දැඩි හානි සිදුවන බව ද දියවැඩියා රෝගීන් 100 දෙනෙකු ගතහොත් ඉන් 54 දෙනෙකුටම තම ජීවිත කාලය තුළ වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම පවතින බව ද, රෝගීන්ගෙන් 20% කට ආසන්න පිරිසකට හෘදයාබාධ සහ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව ද මෙහිදී අවධාරණය කෙරුණි. එමෙන්ම අක්ෂි රෝහල් වෙත පැමිණෙන බහුතරයක් රෝගීන්ගේ අන්ධභාවයට මෙන්ම, ශල්‍ය වාට්ටුවල පාද කපා ඉවත් කිරීමට සිදුවන රෝගීන්ගෙන් වැඩි පිරිසකට ද මූලික හේතුව වී ඇත්තේ දියවැඩියාව බවත්, දියවැඩියාව වළක්වා ගැනීමට නිවැරදි ආහාර පිඟාන, නිසි ව්‍යායාම, ප්‍රමාණවත් නින්ද, මානසික ආතතිය පාලනය යන ප්‍රධාන පියවර 4 අනුගමනය කරන ලෙස ද මෙහිදි දැනුම්වත් කරන ලදි.
ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය කේ. ආර්. දයාවංශ මහතා මහතා දියවැඩියා රෝගීන් හට කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ පෙර නිමිත්තකින් තොරව, එක මොහොතකදී සදහටම තම පෙනීම අහිමි වීමේ දැඩි අවදානමක් පවතින අවධාරණය කළ අතර, මේ හේතුවෙන් සෑම දියවැඩියා රෝගියෙකුම වසරකට එක් වරක්වත් අක්ෂි වෛද්‍යවරයෙකු ලවා තම දෑස් පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බව ද පැවසීය.
දියවැඩියා රෝග තත්ත්වයේ ඇති බරපතලකම වන්නේ පෙනීම අහිමි වන තුරුම රෝගියාට කිසිදු පූර්ව රෝග ලක්ෂණයක් නොදැනීම බවත් කෙසේ වෙතත්, විධිමත් අක්ෂි පරීක්ෂාවක් මගින් වෛද්‍යවරයෙකුට රෝගියාගේ අවදානම් මට්ටම කල්තියා හඳුනාගෙන, අන්ධභාවය වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ කිරීමට හැකියාව පවතින බව ද පැවසීය. මේ සඳහා වෛද්‍යවරයාගේ කැපවීම මෙන්ම රෝගියාගේ නිසි අවධානය හා පාලනය ද අත්‍යවශ්‍ය බවත්, දියවැඩියාව හේතුවෙන් ඇස් අන්ධ වී රෝහල්ගත වන බහුතරය වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන, පවුලක බර කරට ගත් වැඩකරන ජනතාව වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
