චීනයේ දළ ජාතික නිෂ්පාදිතය 2020 වසර තුළදී යුආන් ට්‍රිලියන 100ක් එනම් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 15.42ක් ඉක්ම වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරයි. ඊයේ (18 දා) පෙරවරුවේදී පැවැත්වුණු එම කාර්යාංශයේ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
මෙම දත්ත අනුව පසුගිය වසරේදී චීනයේ දළ ජාතික නිෂ්පාදිතය යුආන් ට්‍රිලියන 101.5986ක් ඉක්මවා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 2.3ක ප්රතිශතයක වර්ධනයක් බවද පැවසෙයි. එසේම නව කොරෝනා වසංගතයෙන් පිඩා විදි පසුගිය වසර තුළදී මෙවැනි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් ලොව ප්‍රධාන ආර්ථිකයක් බවටද චීනය පත්ව ඇතැයි සඳහන් වෙයි.
ඒ අනුව 2019 වසරේදී චීනයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඉතිහාසයේ පළමුවරට එක්සත් ජනපද ඩොලර් 10,000ක් බවට වාර්තා කිරීමෙන් අනතුරුව චීන ආර්ථිකය ළඟා කරගත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවටද මෙය පත්ව ඇතැයිද කාර්යාංශයේ දත්ත උපුටා දක්වන චීන මාධ්‍ය සඳහන් කරයි.
එසේම ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස පසුගිය වසරේදී රටක් ලෙස දුප්පත්කම තුරන් කිරීමේ ජයග්රහණයද හිමි කරගැනීමට චීනය සමත්විය. ඒ හරහා සෑම අතින්ම සෞභාග්‍යය ළගා කරගත් සමාජයක් බිහි කිරීම සඳහා වන ඓතිහාසික සාර්ථකත්වයකට පත් වීමටද චීනයට හැකියාව ලැබී තිබේ.
දැනට වසර 20කට පෙරාතුව යුආන් ට්‍රිලියන 10කින් වර්ධනය වුණු චීනයේ මෙම ආර්ථිකය අද වනවිට සමස්ත ගෝලීය ආර්ථිකයෙන් 17%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි.
විශේෂයෙන්ම ධාන්‍ය නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය, අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම මෙන්ම 5G තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම දළ ජාතික නිශ්පාදිතනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.
2020 වසරේදී චීනයේ ඒක පුද්ගල ආදායම යුආන් 32,189 කින් එනම් පෙර වසරට සාපේක්ෂව 2.1%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. එය මූලිකවම දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනයත් සමගම සිදුව තිබෙන බව කාර්යාංශයේ දත්ත පවසයි. එසේම 2020 වසර තුළදී චීනය තුළ අලුතින් නාගරික රැකියා අවස්ථා මිලියන 11.86ක්ද බිහි වී තිබේ. එය 2019 වසරේදී බිහි වූ රැකියා ප්‍රමාණයට සාපේක්ෂව 131.8%ක ප්රතිශතයක වර්ධනයකි.
චීනය අදටත් ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට බවට පත්ව තිබෙන අතර රටෙහි ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ගෝලීය සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමකින් පවතී.
චීනය සිය දළ ජාතික නිෂ්පාදිතය වසර 2035 වන විට ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ගේ මට්ටමට පත් වීම අපේක්ෂාව වී ඇති අතර චීනයේ කමියුනිස්ට් පක්ෂයේ මගින් 2021-2025 වසර සඳහා ඉදිරිපත් කර ඇති 14 වැනි පස් අවුරුදු යාන්ත්‍රණයේ සහ දිගු-කාලීන ඉලක්ක අතරද එය පවතී.
ලෝක බැංකු සමූහයද මෙම මාසය මුලදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2021 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය 4%ක ප්‍රතිශතයකින් වර්ධනය වෙද්දී, චීනයේ ආර්ථික වර්ධනය 7.9%කින් වර්ධනය වෙනු ඇති බවයි.



