චාමරට එරෙහි නඩුව නොවැම්බර් 18 කැඳවයි
ඌව පළාත්සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි විමර්ශනය නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (17) නියම කළාය.
ඇප මත සිටින සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) සුමිත්‍රා සිල්වා හා රාජකරුණා මනමේන්ද්‍ර සුනිල් ගාමිණි නමැත්තන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මෙසේ දින නියම කළාය.
වැඩිදුර වාර්තාවක් ගොනුකළ අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බවය.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයවරයා වශයෙන් සිටියදී පළාතේ ළදරු පාසල් දරුවන් සඳහා බෑගයක් ලබාදීමට බැංකුව මගින් අනුග්‍රාහකත්වයක් ඉල්ලා ඇති අතර එම අනුග්‍රහකත්වය ලබා නොදීමේ හේතුව පාදක කර දේවේශ සහගතව මෙම ගිණුම් හය ඉවත් කරගෙන අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කෙරේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ල නොවැම්බර් 18 වැනිදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

