චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවටද චීන තානාපති චී.ෂෙන්හොන් මහතා විශ්වාසය පළ කළේය.
තානාපතිවරයා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පෙරේදා පැවැති හමුවකදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමුවිය.
එසේම මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පළ කළේය.
කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට සිය ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළේය.
කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය.
ලබන මසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.


