සෞභාග්‍යය ගෙන ඒමට යැයි කියා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 'හොඳටම කිරීමට ගොස්' ලක්ෂ 30ක්ව පැවති දුප්පත්භාවය ලක්ෂ 96 දක්වා ඉහළ දමා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (23දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටිපාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයේ සිට මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසය වෙනකන් ආහාර උද්ධමනය 133%කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නෙ සෞභාග්‍යය ගේන්න ආපු පුද්ගලයා හොඳටම කිරීම හරහා ආහාර උද්ධමනය 133%කින් වැඩිවෙලා තියෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මම මේ කියන්නේ. එහෙමනම් රුපියල් 27,000ට තිබුණු රේඛාව රුපියල් 53,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝක බැංකුව කියනවා 2019දී 13%ට තිබුණු දරිද්‍රතාව 2022 මැද වනවිට 25.6%ගිහින් තිබෙනවා කියලා. ඒත් පේරාදෙනිය විශ්වවිද්‍යලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු කණ්ඩායමක් කරපු දීප ව්‍යාප්ත සමීක්ෂණයකට අනුව ඔවුන් කියනවා ලංකාවේ දරිද්‍රතාව 45%කට කිට්ටු කරලා තියෙනවා කියලා. දැන් මේ භයානකකම තේරුම් ගන්න.
අපේ රටේ ලක්ෂ 220ක් ඉන්නවා ජනතාව. 2019දී රාජපක්ෂලා මේ රට ගන්නකොට අලුත් දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 30ක් දුප්පත්. දැන් මේ විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරලා තිබෙන දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 96ක් දුප්පත්. ලක්ෂ 30 සිට ලක්ෂ 96 දක්වා හොඳටම කරලා තියෙනවා. දුප්පත්කම තෙගුණ කරලා තියෙනවා. කොළඹ නගරයේ 04දෙනෙකුගෙන් සමන්විත පවුලකට මැරෙන්නේ නැතිව ජීවත්වෙන්න රුපියල් 60,000ක් අවශ්‍ය බවට මම අගෝස්තු මාසයේදී කිව්වා" .