වගාවන්ට හානි සිදුකරන වනසතුන් පළවා හැරීමට ගොවීන්ට තුවක්කු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය වහාම ඉවත්කර ගත යුතු බව සත්ත්ව අයිතිවාසිකම් සුරකීමේ ක්‍රියාකාරීන්ගේ එකමුතුව සඳහන් කරයි.
අදාළ තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා ඊයේ (03දා) කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් භාරදුන් බවද එම සංගමයේ ක්‍රියාකාරී සාමාජික මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.
මීට අමතරව මෙම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සත්ත්ව සුභ සාධන සංගම් නියෝජිතයන් විසින් ඊයේ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් කටයුතු කරන ලදී.
ගොවීන්ට තුවක්කු ලබාදීම තුළින් වනසතුන් දඩයම් කිරීම් විශාල ලෙස ඉහළ යන බවත්, මේ නිසා වගා හානි වළක්වා ගැනීම සඳහා වෙනත් ක්‍රමවේදයන් හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් මනෝජා වීරක්කොඩි මහත්මිය සඳහන් කළාය.
අස්වැන්න නිසි ලෙස ගබඩා නොකිරීම හා නිසි ලෙස ප්‍රවාහනය නොකිරීම නිසා විශාල අස්වැන්න ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවන බවත්, මේ වැනි ක්‍රියා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ගොවිජනතාවගේ ආදායම් ඉහළ දැමිය යුතු බවත් ඒ මහත්මිය පවසා සිටියාය.
වනසතුන් සොබාදහමත් සමග ජීවත්වන බවත්, වගාවන්ට වනසතුන් හානි සිදුකිරීම අනාදිමත් කාලයක සිට සිදුකරන ක්‍රියාවත් වන නමුත්, වනසතුන්ට හානි කරමින් වගාවන් ආරක්ෂා කර ගන්නා ක්‍රම මෙතෙක් භාවිත කර නොමැති බවත් මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.