ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලම දුම්වැටි තොගය අත්අඩංගුවට
රුපියල් කෝටි පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , මාර්ගස්ථ ක්‍රමයට කටුනායක ගුවන් තොටුපොළ හරහා ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යැවීම සදහා ගුවන් භාණ්ඩ ගම්මානය ( Cargo Village ) වෙත ගෙනැවිත් තිබියදී රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙන්ම ගුවන් භාණ්ඩ ගම්මානයේ දී අත්අඩංගුවට ගත් විශාලතම සහ පළමු දුම්වැටි තොගය වීම විශේෂත්වයකි.
මෙම දුම්වැටි තොගය ඉකුත් ජනවාරි මස 09 දින සහ 11 යන දිනවල ඩුබායි සිට එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් වෙත යැවීම සදහා " තුවා " සහ " ප්ලාස්ටික් කෝප්ප " ලෙස රේගුවට ප්‍රකාශ කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
රේගු ආඥා පනත අනුව මාර්ගස්ත භාණ්ඩ ශ්‍රී ලංකාව හරහා රැගෙන යන විට ඒවායේ අඩංගු ද්‍රව්‍ය නිවැරදිව රේගුවට ප්‍රකාශ කළ යුතුය .
මෙහි " ටොප් ගන් " සහ "මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි විසි දෙලක්ෂ තිස් නව දහස් හාරසීයයක් තිබුණි.
2016 වසරේ දී ශ්‍රී ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතියකට අනුව , නීතිවිරෝධී ලෙස සිදු වන දුම්වැටි සහ ඒ ආශ්රිත භාණ්ඩ වල බෙදාහැරීම වැලැක්වීම මේ රටේ නීතියක් බවට පත් වී තිබෙන මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට පැමිණි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
එසේම ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව ඔවුන්ගේ නීතිවිරෝධී භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ඉඩ නොදෙන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙම දුම්වැටි තොගය පිළිබද විධිමත් විමර්ශන කටයුතු සිදු කර , රාජසන්තක කිරීමෙන් පසුව , ඒවා විනාශ කිරීම සදහා ශ්‍රී ලංකා දුම්කොළ සමාගම වෙත භාර දීම ද 07/28 දින කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ දී සිදු කෙරුණි .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

