වයස අවුරුදු 02ට අඩු දරුවන් සිටින මවුවරුන් පිටරට යනවාට තදින්ම විරුද්ධ බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඉන් පිටත මේ සඳහා සටන් කරන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසීය.
ඒඅනුව මවුවරුන් රට යෑමේදී දරුවාට කතා කිරීමට හැකි තත්ත්වයක සිටිය යුතු යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානයකර තිබූ වැඩමුළුව සඳහා එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියාය.
"ළමයින් කායික වශයෙන් හිංසාවට පත් කිරීම හා කායික දඬුවම් ලබාදීම විශාල ගැටලුවක් ලෙස මේ වනවිට සමාජයේ අවධානයට යොමු වී තිබෙනවා. ළමයන්ට කායික දඬුවම් ලබාදීම හා කායික වශයෙන් හිංසා කිරීම ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව අපරාධ වරදක් ලෙස සඳහන් වී තිබෙනවා. මෙලෙස ළමයින්ට කායික දඬුවම් ලබාදීම පවුල තුළ මෙන්ම පාසල තුළද, ළමයින් රඳවා තබා ඇති ළමා නිවාස වැනි ආයතන තුළද බහුල වශයෙන් සිදුවන බව වාර්තා වෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දැනට පවතින නීති තවදුරටත් සංශෝධනය කළ යුතු බවට මහජන මතයක් ගොඩනැගී තිබෙනවා. එසේම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද එම නීති නැවත සමාලෝචනය කර සංශෝධනය සුදුසු බව යෝජනා කරලා තිබෙනවා. ළමයින්ට එරෙහිව සිදුවන විවිධ හිංසාවන් හා අපයෝජන වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීම සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැවරී තිබෙනවා.
එම නිසාම ළමයින්ට කායික දඬුවම් ලබාදීම පිළිබඳ දැනට පවතින නීති සංශෝධනය කිරීම සඳහා එම ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2022 වර්ෂයේ පත් කරලා තිබෙනවා. ඒ අනුව මෙම නව නීති සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ළමයින්ගේ ආරක්ෂාව සැලසීමට දේශපාලඥයන් වන අප උනන්දු වෙනවා."