නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටි අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු සමඟ යුදහමුදාකපිතාන්වරයෙක් ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග ටී 56 ගිනි අවියක්, එම ජීව උණ්ඩ 108 ක් බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙකක් මිලි මිටර් නමය වර්ග දෙකකින් යුත් ජීව උන්ඩ 26 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය රහස් අංකය මකා දමා තිබූ බවත් වැටලීම කළ නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා පාතාල ප්‍රබලයකු වන ඩුබායි රටේ සැඟව සිටින හෝමාගම හඳයා නැමැත්තාගේ ප්‍රධානම ගෝලයකු බවත් ඔහුට විරුද්ධව දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවක් මඟින් මුදල් වංචා නඩු හතළිස් දෙකක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර ඊට අමතරව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ඇත්තෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉකුත් මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ගොස් ගිනි අවි පෙන්වා තර්ජනය කර දණ ගැස්සිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයා රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන්නෙක් බවත් මීට දින තුනකට පමණ ඉහත දී නිවාඩු ලබාගෙන නුවරඑළියට තිබූ බවට අනාවරණය වී තිබිණි.
සැකකාර කැප්ටන්වරයා පාතාල සාමාජිකයන්ගේ තොරතුරුකරුවෙක් හැටියට කටයුතු කරන්නෙක් බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි විමර්ශන නිලධාරීහු පවසති.
ඉකුත් විසි වෙනි දින හෝමාගම නියඳගල පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම ගහ යොදාගත් ටී 56 ගිනි අවිය මෙයදැයි හා ඒ සඳහා පැමිණි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පාතාල සාමාජිකයා සිටින්නේ දැයි මෙන්ම කපිතාන්වරයා ඒ සඳහා සහයක් දී ඇත්දැයි සොයා වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැය 72 ක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.
